චීනයෙන් කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට

Covid
චීනය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකා එක්සත් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එය සිදුකර ඇත්තේ චීන නීතිවලට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රීතිවලට අනුකූලව බව චීනය පවසා ඇත
ලෝකයේ රටවල් දහයක් පමණ මේ වන විට එන්නත් නිපදවීම සඳහා පර්‌යේෂණ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහෙත් චීනය, මහා බ්‍රිතාන්‍ය හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට නිෂ්පාදනය කර ඇති එන්නත් සායනික මට්ටමෙන් ඔබ්බට ගොස් තුන්වැනි අදියරේ පවතින බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා පැවැසුවේය
එම එන්නත් අතුරින් චීනය හෝ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන එන්නත කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරන අතර මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමුකර ඇති, චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නතක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 60,000කට අත්හදා බලා ඇති අතර එම පුද්ගලයන් රටවල් 10ක ජාතීන් 125කට අයත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි
තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීමක් ලෙස එම එන්නත ලබාදී ඇති අතර මේ දක්වා කිසිවෙක් ඉන් දරුණු අතුරු ආබාධ පෙන්වා නොමැති බව වාර්තා වන අතර තානාපති කාර්යාලය පවසන්නේ කොවිඩ් වයිරසයට නිරාවරණය වී ඇති වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්, වයිරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ක්ෂේත්‍රවල සේවකයන් සහ දේශසීමාවල සේවය කරන පුද්ගලයන්ට හදිසි අවශ්‍යතාවන් සඳහා එන්නත සපයා තිබෙන බවයි.
අශන්ති වරුනසුරිය