උදයංග වීරතුංග කොමිෂන් සභාවට කරුණු ඉදිරිපත් කරයි

Udayanga-Weeratunga

උදයාංග වීරතුංග වන මා, රුසියානු සමූහ ආණ්ඩුව, යුක්රේනය, බෙලොරුසියාව, කසකස්ථානය, උස්බෙකිස්ථානය, අර්මේනියාව, මල්දෝවා සහ ජෝර්ජියාව යන රටවල් 8 හි ශ‍්‍රී ලංකා තනාපති ලෙස මාතෘ භූමියට සේවය කිරීම මුලික හේතුකොට ගෙන, පසුගිය වසර 5කට ආසන්න කාලයක් යහපාලන රජය විසින් හුදෙක් දේශපාලන පලිගැනීම් අරමුණින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය ඇතුලූ අනිකුත් රාජ්‍ය ආයතන මඟින් මට එරෙහිව සිදුකළ අසාධාරණයන් පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, මා හට සාධාරණ විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ගරු කොමිෂන් සභාවට ඉතා ගෞරවයෙන් කරුණු ඉදිරිපත් කර සිටිමි.

“සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි මාධ්‍ය ලේඛකයෙකු ලෙස සේවය කරන ඉක්බාල් අතාස් විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වර්ෂ 2000 සහ 2006 යන වර්ෂයන් හි මිග් යානා මිල දී ගැනීමේ දී සිදු වී ඇති බවට සඳහන් මුල්‍ය අක‍්‍රමිකතාවන් සම්බන්ධයෙන් “සන්ඬේ ටයිම්ස්” පුවත්පතෙහි පලකරන ලද විශ්ලේෂණ වාර්තාව අනුව 2015 මාර්තු 05 දින දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ACCS/FC/2015/02 යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව FCID/05/2015 ලිපි අංකය අනුව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනුකරන ලද බී/639/15 නඩුව පාදක කරගෙන 2015 මාර්තු 26 වෙනිදා සිට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මට එරෙහිව සිදු කරන දේශපාලන පළිගැනීම් පිළිබඳව ගරු කොමිසන් සභාවට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටිමි.
මා පළමුව අවධානයට යොමු කරන්නේ, යහපාලන ආණ්ඩු සමයේ දී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දූෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදු කළ ඇතැම් ක්‍රියා නීති විරෝධීව සිදුව ඇති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කොමිෂන් සභාවේ දී පිළිගත් නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලිඛිතව සිදුකර නැති බවයි. එසේ නමුත් මා මෙහිදී ගරු කොමිෂන් සභාවට පවසා සිටින්නේ, දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් ACCS/FC/2015/02 යටතේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව 2015 මාර්තු 26 දින බි 639 /15 නඩු වාර්තාවේ පැහැදිලිව සදහන්ව වී ඇති බවයි. ඒ අනුව පෙනී යන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා අසත්‍ය තොරතුරු මෙම කොමිෂන් සභාව ඉදිරියේ පවසා ඇති බවයි. එහිදී කොමිසන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ එසේ දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීමට නිත්‍යානුකූල අයිතියක් නැති බවත්, එසේ සිදුකරනු ලබන පැමිණිල්ල නීති විරෝධී නම් ඊට අදාල සියලු නඩු නීතිවිරෝධී බවයි. එහිදී වැඩිදුර පරීක්ෂ සදහා එම පැමිණිල්ලට අදාල ACCS/FC/2015/02 දරන ලිපි ගොනුව කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසියට නියෝගයක් නිකුත් කරන ලදී.

ඊයේ දින මා විසින් දේශපාලන පලිගැනිමි පිලිබද ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට පැමිනිලි අංක 1080/2020 යටතේ‍ ගැටළු 4 ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වන අතර ඒවා පිලිවෙලින් මෙසේය.
1. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම මත මාගේ සියලූ ගිණුම් අක‍්‍රීය කිරීම.
2. අසත්‍ය කරුණු මත සැකකරුවකු ලෙස නම් කර වරෙන්තුවක් නිකුත් කිරීම.
3. අසත්‍ය තොරතුරු මත ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කිරිම රීම:
4. ඉන්ටර්පෝල් රතු නිවේදනය මත අත්අඩංගුවට:

මා 1985 අගෝස්තු 22 දින සෝවියට් දේශයේ කිව් නගරයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වීය. එදා යුක්රේනියාවේ කිව් විශ්වවිද්‍යාලයේ රුසියානු භාෂාව හැදෑරීමෙන් පසු කිව් නගරයේ විශ්වවිද්‍යාලයේ කාර්මික ඉංජිනේරු උපාධිය ලබාගත් මා, 1991 වර්ෂයේ සිට ස්ථිර පදිංචි විසා මත යුක්රේනියාවේ ජිවත් විය. පසු කාලයේදී යුක්රේනියා රාජ්‍යය ලෙස අලුත් රටක් බිහි වූ අතර 1999 වර්ෂයේ දී එම රටෙහි ශ්‍රී ලංකාවේ ගරු සේවා කොන්සුල්වරයා ලෙස ශ්‍රී ලංකා රජයට නොමිලේ සේවය කරන ලදී. ඒම කාලයේදී කිව් නගරයට පැමිණි යුදහමුදා හා ගුවන්හමුදා නිලධාරීන්ද අමත්‍යවරුන්ද ශ්‍රී ලංකා තානාපතිවරු මෙන්ම අනිකුත් ලාංකික දූතපිරිස් වැඩි වශයෙන් පිළිගත්තේ මා විසිණි. එම ගරු සේවයෙන් පසු 2006 වර්ෂයේදී මොස්කව් නගරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රුසියානු සමුහාණ්ඩුව ඇතුළු රාජ්‍යයන් 8ක තානාපති ලෙස සේවය කරන ලදී. ඒම කාලයේදී මා කල සේවය ඇගයීමේ ප්‍රතිපලයක් ලෙස 2013 වර්ෂයේ දී රුසියානු සමුහාණ්ඩුවේ කුර්ස් විශ්වවිද්‍යාලය විසින් මා වෙත මහාචාර්ය ගරු තනතුරක් පිරිනම ලදී.

පසුගිය වසර 35ක ආසන්න කාලයක් නොකඩවා යුක්‍රේනය, රුසියාව, එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ ජීවත්වූ මා කොමර්ෂල් බැංකුවේ හා හොංකොං ෂැන්හයි බැංකුවේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) ආරම්භ කරන ලද්දේ 1991 වර්ෂයේය. එම කාලයේදී ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය මත එම මුදල් මාගේ ගිණුම්වලට බැර කර ඇත. එසේම යුක්රේනයේ හා රුසියාවේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු ලෙස රැකියාවකින් හා ව්‍යාපාර වලින් උපයන ලද ධනය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ මුදල් ගිණුම් (NRFC) වල වසර 35ක ට ආසන්න කාලයක් විදේශ විනිමය ලෙස තැන්පත් කිරීම ද නීති විරෝධි ක්‍රියාවක් ලෙස මා දකින්නේ නැත.

එසේ නමුත් 2015 අප්‍රේල් 27 දින කොමර්ෂල් බැංකුවේ මගේ ගිණුමක් අවලංගු කර එම මුදලට, උදයංග වීරතුංග යන මගේ නමට චෙක්පත් නිකුත් කරණ ලෙස කල ඉල්ලීම සැකසහිත ගනුදෙනුවක් බවට, නිට්ටඹුව ශාඛාවේ හිටපු කළමනාකාරිය, ශ්‍රියා කොඩිසිංහ විසින් සිදුකල ප්‍රෝඩාකාරී කූට පැමිණිල්ලක් මත සියලුම ගිණුම් අත්හිටුවීමට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මහා බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හරහා පියවර ගත්තේය. නමුත් වසර 15 වැඩි කාලයක් නිට්ටඹුව ශාඛාවේ සාර්ථක බැංකු ගිණුම් පවත්වාගෙන ගිය මොහොතක ශ්‍රියා කොඩිසිංහ විසින් ගිණුම් අත්හිටුවීමට පොලිසිය සමග එකතුවී පට්ටපල් බොරු නිර්මාණ කරමින් මට එරෙහිව සිදුකල අසත්‍ය චෝදනා හුදෙක් යහපාලන දේශපාලන පළිගැනීමකි.

පසුව 2015 අප්‍රේල් 29 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උදයංග වීරතුංග යන නමට ඇති සියලූම ගිණුම් තාවකාලිකව අක්‍රිය කරන ලදී. එසේ නමුත් එම කාලය තුල මා කිසිදු අධිකරණයකින් සැකකරුවකු ලෙස හෝ නම්කර නොතිබුණු අතර මෙම ගිණුම් අත්හිටුවීමට කිසිදු අධිකරණ නියෝගයක් නොතිබුණි. පවුලේ එකම ආදායම්ලාභියාගේ ගිණුම් අක‍්‍රීය කිරීමෙන් පාසලට මුදල් ගෙවීමට බැරි වීමෙන්, දරු දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතු වී ඇති අතර, මාස්පතා කරන සියලූ ගෙවීම් වසර 5 වැඩි කාලයක්‌ නතර කර අප පවුලේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පෙන්නුම් කරමි.

තවද වසර 5 කට පෙර මෙම කරුණු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහා බැංකු අධිපති, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂ හා කොමර්ෂල් බැංකුවේ විධායක අධ්‍යක්ෂකට යවන ලද ලිපි සදහා මෙතෙක් කිසිදු පිළිතුරු ලැබී නැති බවත්, තම ගනුදෙනු කරුවන්ගේ ගිණුම් සැක සහිත බවට FCID වෙත එදා ඔත්තු සැපයු බැංකුවක් බව කොමර්ෂල් බැංකු ගනුදෙනුකරුවන් දැනගත යුතුය. පසුව බී/639/15 නඩුව ප‍්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද උසාවි නියෝගය මත 2017 ජනවාරි 04 දින උදයංග වීරතුංග නමට ඇති සියලූම ගිණුම්වල ගනුදෙනු නැවත දන්වන තුරු අත්හිටුවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කරන ලදී.

යහපාලන රජය යටතේ ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා මහබැංකුව එකතුව පුරා මාස 64 ක් පරීක්ෂණ සිදුකර ඇති නමුත් මිග් යානා ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුමට බැර කර ඇති බවට කිසිදු සාක්ෂි නොමැතිව, සිදුකරන සියලු චෝදනා හුදෙක් දේශපාලන පළිගැනීම් බව ගරු කොමිෂන් සභාවට ඉතා ගෞරවයෙන් අවධාරණය කරමි.