ලංකාවේ CIDය හොර ගුහාවක් වෙලා

CID
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවට පත් වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කරනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ තොරතුරු සටහන් පොතක (ෆැක්ස් පණිවිඩ පිළිබඳ සටහන් තබන පොත) ඇතුළු සටහන් ‘ටිපෙක්ස්’ දමා මකා තිබීම ගැන අවධානය යොමු කරමින් සභාපති විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ එම ක්‍රියා කලාපය විවේචනය කළ සභාපති විනිසුරුවරයා, මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර වැඩ කරන්නේ කෙසේ දැයි වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරී බී.ඒ. තිසේරාගෙන් ප්‍රශ්න කර සිටියා.
යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන මුදා හරින ලදැයි අසත්‍ය චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් ඊයේ (30දා) විභාගයට ගත් අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා මෙලෙස අවධාරණය කෙරුවා.
ජනාධිපති කොමිසම විසින් අදාළ පැමිණිල්ල ගැන තීරණයක් ගැනීමට පෙර ලලිත් ජයසිංහට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ගැන තීරණයක් ගැනීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලීම සුදුසු බව ද සභාපති විනිසුරුවරයා මෙහි දී අවධාරණය කළා.
එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දී නීතිපතිවරයා විසින් සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් නොකළ එම කැරැල්ලේ සජීවී දර්ශන සහිත වීඩියෝ පටියක් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (30) ප්‍රදර්ශනය කෙරුණා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් අදාළ වීඩියෝ පටය ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණා. වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල සිදු වූ 2012 නොවැම්බර් 09 වැනිදා රාත්‍රී සහ නොවැම්බර් 10 වැනි දින අලුයම් කාලයේ දර්ශන එම වීඩියෝ පටියේ ඇතුළත් වනවා.
තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දුන් අවස්ථාවේ දී නීතිපතිවරයා විසින් එම වීඩියෝ පටිය සහ ඊට අදාළ ඡායාරූප ඇතුළත් ගොනුවක් ලබා දුන්නද, වීඩියෝ පටිය සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් නොකළ බව නියෝමාල් රංගජීව ජනාධිපති කොමිසම වෙත දන්වා සිටියා.
වැලිකඩ බන්ධනාගාර කැරැල්ලට තමාව පටලවා, එල්ලුම් ගස් යවන්න ඕනෑ නිසා නීතිපතිවරයා ඇතැම් සාක්ෂි සඟවා ඇතැයි ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් දන්වා සිටි නියෝමාල් රංගජීව, එම කැරැල්ල සිදු වූ දින රාත්‍රියේ විදුලිය විසන්ධි වී තිබූ අවස්ථාවක, තමන් සිටිනවා දුටු බවට බොරු සාක්ෂි නිර්මාණය කර තිබෙන බවත් දන්වා සිටියා.
කෙසේ නමුත් වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සාක්ෂි සැඟවීමේ චෝදනා මත කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද 31 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුගේ නිවසේදී ..
කොහොමවුණත් ජනාධිපති ගෝඨාභය දිගින් දිගටම අවධාරණය කරන්නේ පාතාලය කුඩු වගේම රට වින කරන සියල්ල කුඩු කර දමන බවට. උණුසුම් වන දේශපාන වේදිකාවේ කුමක් කුමන අයුරින් දිග හැරුණත් කියවෙන් දේ එලෙසින් සිදු වේවායි Boston අපද පාර්ථනා කරන්නේ සුවැදි හෙටක් සාර්ථක රටක් අපත් අපේක්ෂා කරන නිසාය.
අශන්ති වරුණසුරිය