අඟහරු වෙත ගිය අලුත් යාළුවගේ පරිපථ සැලැස්ම ලාංකිකයෙකුගේ

sl-b
අමෙරිකාවේ නාසා ආයතනය බ්‍රහස්පතින්දා (30) අඟහරු ග්‍රහයා මත ජීවය (Life) ඇත්දැයි සොයාබැලීම සඳහා පර්යේෂණ රෝබෝවක් කක්ෂගත කළා. ටොන් එකක් පමණ බරින් යුතු එම රෝවරය (Rover) මගින් අඟහරු ග්‍රහයාගේ පාෂාණ සහ පස් සාම්පල එකතු කරනු ඇතැයි ද ඒවා මෙම දශකය අවසන් භාගයේදී පෘථිවියට ගෙන ඒමට අපේක්ෂා කෙරෙන බව ද විදෙස් වාර්තා පවසනවා.
මෙම රෝවරය ශ්‍රී ලංකිකයන්ටත් වැදගත් වේ. ඒ, එය නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලාංකික විද්‍යුත් ඉංජිනේරුවරියක් සිය දායකත්වය ලබාදුන් බැවිනි. ඇය මෙලනි නිලන්ති මහආරච්චි . මේ වනවිට ඇය එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ ව පශ්චාත් උපාධියක් හදාරනවා.
කොළඹ උපන් ඇය, ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක්.
2003 වසරේදී සිය සැමියා සහ දරුවන් සමග අමෙරිකාවට සංක්‍රමණය වෙලා. ඉන්පසු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ලබාගෙන ගුවන් යානා නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රය සිය වෘත්තීය ලෙස තෝරා ගෙන.
ඇය නාසා ආයතනය හා සම්බන්ධ වී ඇත්තේ 2015 වසරේ දීය. ‘Mars Rove’r යානය තුළ විද්‍යුත් පරිපථයේ යාන්ත්‍රික සැලැස්ම (Electrical system mechanical layout) නිර්මාණය කිරීමට ඇය පූර්ණ දායකත්වය ලබාදීලා තියෙනවා. “එය මම තනියෙන් ම නිර්මාණය කළේ”. ඇය ඒ ගැන අදහස් දක්වලා තියෙන්නේ එහෙම.
අගහරු ග‍්‍රහයා සොයා නාසා ආයතනය ඊයේ (30) නවතම අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කලේ  ‘‘ මාස් 2020 ස්පේස් මිෂන් ’’ නමින්. රෝවරය අගහරු සොයා අභ්‍යවකාශ ගත කිරීම අමෙරිකානු වේලාවෙන් ඊයේ පෙරවරු 7.50 ට ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේදී සිදු කෙරුණා.
මාස 7 ක ගමනකින් අනතුරුව එය අගහරු වෙත ළගා වනු ඇතැයි අපේක්‍ෂිතයි. සාමාන්‍ය මෝටර් රථයක ප‍්‍රමාණයකින් යුත් මෙම රෝවරය මගින් අගහරුගේ පූර්ව ජීව විද්‍යාත්මක පරිසරය, භූ විද්‍යාත්මක කරුණු හා තවත් ගවේෂණ කිහිපයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එසේම අනාගත විද්‍යාත්මක පර්යේෂණ සදහා අගහරුගෙන් සාම්පල් රැගෙන ඒම ද මෙම රෝවරය මගින් සිදුකරනු ඇතැයි නාසා ආයතනය අපේක්‍ෂිතයි. කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය පැවසුවේ 70 දශකයෙන් පසු නාසා ආයතනය අගහරු පිළිබද දැඩි බලාපොරොත්තු සහිතව අභ්‍යවකාශ ගත කළ රෝවරය මෙය වන බවයි.
අශන්ති වරුණසුරිය
mars-rover-2020-l
2 Attachments