“සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

white van
ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අද (26) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියා.
මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි අතර මෙම පැමිණිල්ලේ තුන්වන සහ හතරවන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය පමණක් අධිකරණයේ පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑම සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට තිබුණද ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බව වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර සිටියා.