සමාජ මාධ්‍ය කලඹවන මුස්ලිම් ජාතිකයෙකු ආදාහනය කිරීමේ කතාව

Muslim burial 2
පසුගිය (30) මිගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය දෙවන පුද්ගලයා ආදාහනය කිරීමත් සමඟ විරෝධතා එල්ල විය. ඒ එලෙස මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වූ බැවින් ඔහුව ආදාහනය කිරීම නිසාය.
මෙරට තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෞක්‍ය අංශ සහ ආරක්ෂක අංශ අසීමිත කැපකිරීමක් සිදුකරන මොහොතක මුස්ලිම් ජාතිකයන් ආදාහනය කිරීම අගමානුකුල නොවන බව පවසමින් මුස්ලිම් දේශපාලඥයින් කිහිප දෙනෙකු සහ ආගමික නායකයන් යැයි හඳුන්වන පිරිසක් විසින් ප්‍රකාශ නිකුත් කරමින් විරෝදය දක්වා ඇති අයුරු සමාජ මාධ්‍ය හරහා දැක ගැනීමට හැකි විය.
මේ පිළිබදව Boston  අප සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ තරුණ අංශයේ සම්බන්ධීකාරක නුස්රත් නව්ෆල් හක්කානි මව්ලවිතුමා ගෙන විමසීමු.
මව්ලවිතුමා පැවසුවේ ඔහුට කිසිදු දේශපාලනයක් නොමැති බවත් නමුත් එම දේහය ආදාහනය කිරීම සම්බන්දයෙන් කණගාටුවක් ඇති බවත්ය.
කෙසේ වෙතත් කොරෝනා ආසාධිතයන්ගේ අවසන් කටයුතු සියල්ල සිදුවන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් මත බව තමන් ඒ බව තමා හමුවුණු මුස්ලිම්වරුන්ට ද ප්‍රකාශ කල බව ද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.
ඒ අනුව උලමාවරුන්ගේ සභාව මේ පිළිබදව ජනාධිපති සහ අගමැති සමඟ සාකච්ජා කල බවත් එහිදී මුස්ලිම් ආගමික චාරිත්‍ර වලට අනුව සිදු කල යුතු පිරිසිදුකිරීම් වස්ත්‍ර ගැන්වීම් සිදු නොකළ යුතු බවටත් නමුත් භූමිදානය කිරීමට එකඟ වූ බවත් මව්ලවි නව්ෆල් පැවසීය.  ලෝක සෞක්‍ය සංවිධානය භූමිදානය කිරීමට අනුමැතිය ලබා දී ඇති බවද මතක් කරමින් මව්ලවි නව්ෆල්  මෙසේද වැඩි දුරටත් පැවසිය.
ඉහත කාරණය පිලිබදව මුස්ලීම් සමාජය කම්පනයට පත් වීම සාධාරණයි ද යන්න කිසිම දේශපාලන හෝ වෙනත් වුවමනාවකින් තොරව විග්‍රහ කිරීමට කැමැත්තෙමි. පළමුව යම් හෝ මරණයකදී ඊට අවසන් කටයුතු කිරීම ඉස්ලාමය තුළ ආගමික වතාවක් ලෙස සලකනු ලබයි. එනම් මුස්ලිම්වරයෙකු නැමදීම, උපවාසකිරීම, සzකාත් හෙවත් වාර්ෂික වරිය ඉටුකිරීම, හජ් වන්දනාවට යෑම යනාදී ආගමික වතාවන් ලෙස සලකනවා සේම මරණයකදී ඒ මරණයට පත් වූ පුද්ගලයාට අවසන් කටයුතු කිරීමද ආගමික වතාවක් ලෙස සලකනු ලබයි. යම් පුද්ගලයකු මරණයට පත්වීමේදී එම පුද්ගලයා වෙනුවෙන් කලයුතු ප්‍රධාන වගකීම් හතරක් මුස්ලිම් සමාජයට පවරනු ලබයි. එනම් :
*1. ස්නානය කරවීම.*
*2. කෆන් හෙවත් වස්ත්‍රයක් ඇන්ද වීම.*
*3. මරණ සලාතය හෙවත් නැමදුම ඉටුකිරීම.*
*4. භූමිදානය කිරීම.*
ඉහත කරුණු හතරම සාමාන්‍ය මරණයකදී අනිවාර්යෙන් මුස්ලිම්වරු කළ යුතුමයි. නමුත් කොවිඩ්19 වැනි භයානක රෝගයක් ආසාදනය වී යම් හෝ පුද්ගලයෙකු මරණයට පත්වේ නම් සෞඛ්‍ය අංශයේ සහ වෛද්‍ය උපදෙස් මත අවසන් කටයුතු කිරීමේ ක්‍රමය තීරණය වේ. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශයට අනුව ඉහත කරුණු හතරින් යම් හෝ දෙයක් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින්නේ නම් එය අත්හැර අනෙකුත් වගකීම් ඉටු කිරීම අනිවාර්ය වේ. කොවිඩ්19 මරණයකදී ස්නානය කරවීම කිසිදු  විදිහකින් කළ නොහැකි කරුණක් බව සෞඛ්‍ය ක්ෂේත්‍රය පහදා දී ඇත. ඒ අනුව එය කිරීම අනිවාර්ය නොවනු ඇත. දෙවැනි කරුණ වන කෆන් හෙවත්  වස්ත්‍රයක් ඇන්ද වීම ද මෙම රෝගයේ භයානකත්වයට අනුව නිර්දේශිත ක්‍රමයක් පවතී, එයද මුස්ලිම්වරුන්ගේ වගකීමෙන් බැහැරව යයි. තෙවැනි සහ සිව්වෙනි කරුණු කිරීමට කිසිදු නිර්දේශිත බාධකයක් නොතිබීම හරහා එය අනිවාර්ය වනු ඇත. තෙවෙනි වගකීම වන නැමදුම ඉටුකිරීමට ද තිදෙනෙකු පමණක් ඉදිරිපත් වීම ප්‍රමාණවත් වේ. ඊට අමතරව විශාල පිරිසක් එකතු විය යුතු නොවේ.
සිව්වැනි සහ අවසන් වගකීම වන භූමිදානය සඳහා කිසිදු බාධකයක් නොතිබෙන අවස්ථාවකදී එය අනිවාර්යෙන් කළ යුතුව තිබේ. ඊට අමතරව ආදාහනය කිරීමට කිසිසේත්ම නොහැක. කොවිඩ්19 මරණයකදී ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා වෛද්‍ය සංගමය (මෙම ලියන මාර්තු 31 වෙනි දින දක්වා) යන සියලු පාර්ශ්වයන්ගේ නිර්දේශය වනුයේ ආදාහනය කිරීම හෝ ක්‍රමානුකූල භූමිදානය කිරීමට හැකි යන්නයි. එනම් ආදාහනය කිරීම පමණක් නොවේ, මෙසේ භුමිදානය කිරීමට අනුමැතිය තියෙන අවස්ථාවකදී අනිවාර්යෙන්ම මුස්ලිම්වරු ඒ වගකීම කළ යුතුමයි. ඒ කටයුත්ත සඳහා වෛද්‍ය අංශයෙන් නියම කරනු ලබන පිරිසක් මැදිහත්වීම ප්‍රමාණවත් වේ.
ඉහත කරුණු හරහා මුස්ලිම්වරුන්ගේ කම්පනය සහ පීඩනය සාධාරණයි යන්න වටහාගත හැකි යැයි විශ්වාස කරන්නෙමි. ඊට අමතරව මෙවන් කරුණු කාරණා දේශපාලන උවමනාවකට හෝ ජාතිවාදී හැඟීමක් ඇති කිරීමට උපයෝගී කරගන්නවා යැයි හැඟෙන පරිදි කටයුතු කිරීමත් කිසිසේත්ම ලංකා මාතාවට සුභදායී කරුණක් නොවේ. එම නිසා මෙම කටයුත්ත ගැන විවෘත දෑසින් බලා විද්‍යාත්මකව තහවුරු කර ඇති ආකාරයට නිසි ක්‍රමානුකූල භූමිදානය හෝ ආදාහනය යන දෙකම තුළින් මෙම කොවිඩ්19 වෛරසය පැතිරයාම වළක්වා ගත හැකි යැයි තහවුරුවී ජාත්‍යන්තර රෙගුලාසි ද ක්‍රියාත්මක වෙමින් මහා බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි බොහෝ රටවල එම තීරණ ගෙන තිබියදී මේ ගැන විවෘත දෑසින් සොයාබලා තීරණයක් ගැනීමට ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස සියලුම වෛද්‍ය නිලධාරීන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉතාමත්ම ආදරයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
අශන්ති වරුණසුරිය