පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ 80% අවසන්

1582107314-ajith-Rohana_l
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ශන වලදී හෙළිවී ඇති දේශපාලන සහ විවිධ තරා තිරමේ නිලධාරින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පොලිස් මූලස්ථානයේ දීය
මේ වන විට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් සියයට 80 ක් පමණ සිදුකොට අවසන් බවත් විමර්ශන හැකි ඉක්මනින් අවසන් කොට නීති ක්‍රියා මාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත අදාළ විමර්ශන වාර්තා ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 216 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 153 දෙනෙක් තවමත් රැඳවුම් නියෝග සහ අධිකරණ නියෝග මත රඳවා ගෙන සිටින බවයි පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන ගැන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
ඒ අතර සැකකරුවන් 06 දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහය මත මෙරටට රැගෙන ඒමට හැකිවූ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දායකත්වය දුන් බව කියන මාලදිවයින් ජාතිකයින් සිව් දෙනෙක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සතුව තිබු ගිනි අවි 7ක්, මෝටර් රථ දෙකක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු කියා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෝහාරික විමර්ශන සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව ඔහු කියා සිටියා.
මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් ඇතැමුන් අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයට සෘජු සම්බ්න්ධකම් පවත්වා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
එමෙන්ම වනාතවිල්ලුව ප්‍රදේශයේ අවි ආයුධ සඟවා තබා ගැනීමේ සිද්ධිය සමබන්ධයෙන් තවත් සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවේ සිටින බව ඔහු සඳහන් කර සිටියා.
මෙරට සිටින මුස්ලිම් තරුණයින් රැඩිකල් කරණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් ගැන තොරතුරු හෙළිවී ඇති බවත් එම පිරිස් ඉන් ගලවා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් කණ්ඩායමක් ප්‍රජා පොලිස් ඒකක සමග කටයුතු කරමින් සිටින බව කියා සිටියා.
මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින්ට අයත් නිශ්චල හා චංචල දේපල සහ බැංකු ගිණුම් අධිකරණ නියෝග මත අත්හිටුවා ඇති බව සඳහන් කර සිටියා.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කිසිවෙකුට අපිට යලි ජිවය දෙන්න බැහැ. නමුත් ඒ අපරාධය වෙනුවෙන් සම්බන්ධ සියලුම දෙනාට අධිකරණය ඉදිරියේ ක්‍රියා කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු කණ්ඩායම් 12ක් විමර්ශන සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.