ජාතික ගීතය සිංහලෙන් පමණක් කියා ආණ්ඩුව කියා නැහැ : අගමැති දමිළ පුවත් කතුවරුන්ට කියයි

Mahinda 2

ජාතික ගිය දමිළ භාෂාවෙන් ගායනා කිරීමේ කිසිදු තහනමක් පනවා නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියේ දමිළ පුවත්පත් කතෘවරුන් සමග අද(14) පැවති සාකච්ජාවකට එක්වෙමින්ය.

” ජාතික ගීතය ගැන ගැටලුව අප දැන ගත්තේ පත්තර වලින්. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීතය ගායනා කරන්නේ සිංහලෙන් පමණක් කියලා. රටකට තියෙන්න පුළුවන් එක ජාතික ගීතයක් විතරයි. සිංගප්පුරුවේ වගේම ඉන්දියාවේ විවිධ භාෂා භාවිතා වුනත් ජාතික ගීතය ගායනා කරන්නේ එක් භාෂාවකින් විතරයි. දෙමළ උත්සවයකදී ජාතික ගීතය ඒ භාෂාවෙන් ගායනා කරන්න පුළුවන්. එහෙම තහනමක් පනවලා නැහැ.

ජාතික ගීතය යම් යම් ප්‍රදේශවලට අනුව වෙනස් භාෂාවලින් ගායනා කිරීම නිසා සිදුවන්නේ ජාතින් අතර භේද වැඩිවීමක් විතරයි. අපි රජයක් විදිහට තීරණය කරලා නැහැ ජාතික ගීතය ගායනා කරන්නේ සිංහලෙන් පමණක් කියලා. යම් යම් මත තිබෙන දේශපාලඥයින් ඒ අයගේ මතයන් ප්‍රකාශ කළාට එය ආණ්ඩුවේ මතය වෙන්නේ නැහැ” මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

දෙමළ මාධ්‍ය හැසිරවීමේදී සෑම විටම ආණ්ඩු විරෝධී මතයක් ගන්නවා. දෙමළ ජනතාව සහ ආණ්ඩුව ඈත් කරන්න කටයුතු කරන්න එපා මම ඉල්ලීමක් කරනවා. දෙමළ ජනතාව සහ ආණ්ඩුව අතර විශ්වාසයක් ඇතිවෙලා අප අතරේ එකතුවීමක් ඇති නොවුනොත් එකේ පාඩුව සිදුවන්නේ රටටමයි. අපිට ජන්දය දුන්නත් නැතත් ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් විසදුම් සෙවීමට ආණ්ඩුවක් වශයෙන් අප කටයුතු කරනවා යැයි මෙහිදී අගමැතිවරයා කියා සිටියා.

එමෙන්ම වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සමග මේ වන විටත් සාකච්ජා ආරම්භ කර ඇති බවයි මෙහිදී අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ.