රංජන් සමඟ එන තුවක්කු නාටකය

Ranjan-arrested
ආරක්‍ෂක අමාත්‍යාංශය නිකුත් කර ඇති පිස්තෝල භාවිත කරන ප්‍රභූන් රැසක්ම 2020 වර්ෂය සඳහා තම බලපත්‍රය අලුත් කර නොමැති බව අනාවරණය වනවා.
බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමේදී මෙම කරුණු හෙළි වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූන් වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය පිස්තෝල බලපත්‍රය නිකුත් කරන අතර, ඒවා වාර්ෂිකව අලුත් කරගත යුතුයි.
කිසිවෙකු විසින් බලපත්‍රයක් නොමැතිව තමා භාරයෙහි කිසිම තුවක්කුවක් තබා නොගත යුතු බව ප්‍රභූවරුන්ට පිස්තෝල බලපත්‍ර ලබාදීමේදී ඒ සඳහා ලබාදෙන උපදෙස් පත්‍රිකාවේ පළමු වගන්තියේ සඳහන් වේ.
එහිදී  දෙවැනි වගන්තියට ප්‍රකාරව බලපත්‍ර අලුත් කිරීම සම්බන්ධයෙන් දක්වා තිබෙනවා. ඒ අනුව, බලපත්‍රය එක් එක් අවුරුද්දේ දෙසැම්ර්බර් මස 31 වැනි දිනට කලින් අලුත් කරවාගත යුතුයි.
ඊට පසු බලපත්‍රය අලුත් කරගන්නා විට නඩු පවරනු ලැබීම වෙනුවට බලපත්‍ර ගාස්තුවට සමාන වන මුදලක් දඩයක් ලෙස අය කරනු ලබනවා.
බලපත්‍රය අලුත් කරගන්නා විට උවමනා වුවහොත් පරීක්‍ෂා කිරීම පිණිස තුවක්තුවද ඉදිරිපත් කළ යුතුය යනුවෙන් සඳහන් වේ.
තුවක්කු ආඥා පනතට අනුව වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනි අවියක් ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
තුවක්කු ආඥා පනතේ 22(2) උ) වගන්තියට අනුව යම් තැතැත්තෙකු සතුව ඇති ගිනි අවියට නිකුත්කර ඇති බලපත්‍රයේ වලංගුභාවට අහෝසි වී දින දහයක කාලසීමාවක් තුළ පමණක් එම ගිනි අවිය තම සන්තකයේ තබාගත හැකියි.
ඉන්පසුව එම අවිය ඔහු සන්තකයේ තබාගත නොහැකි අතර, තවදුරටත් තබාගන්නේ නම් පළමු වතාවට එම වරද කළහොත් රුපියල් දසදහසක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු පහක් නොඉක්මවන කාලයක් බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීම හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම යටත් වන බවද දක්වා තිබෙනවා.
එම වරද දෙවැනි වරට හෝ ඉන්පසුව කළ විට අවුරුදු දහයකට නොඅඩු හා අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් වන බවද දක්වා තිබෙනවා.
එමෙන්ම ස්වයංක්‍රීය තුවක්කුවක් හෝ රිපීටර් තුවක්කුවක් භාරයේ හෝ ළඟ තබාගැනීම හෝ භාවිත කිරීමෙන් වරදකරු වුවහොත් ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කර දඬුවම් කළ යුතු බවද එහි සඳහන් වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජය මගින් නිතුත් කර ඇති පිස්තෝල (තුවක්කු) බලපත්‍ර මේ වර්ෂය සඳහා අලුත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී අනාවරණය වූයේ, පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ වර්ෂය සඳහා මෙතෙක් බලපත්‍රය අලුත් කර නොමැති බවයි.
එමෙන්ම බලපත්‍රය අලුත් නොකිරීමේ වරදකට මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීමක් මීට පෙර අසා නොමැති බවද මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සඳහන් කළා. එහිදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හරි මාර්ගයේ ගමන් කරන බවත් පොලිසිය සහ විමර්ශකයින් වැරදි මාවත ගමන් කිරීම කණගාටුදායක කරුණක් බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ රන්ජන් රාමණායක අත්අඩංගුවට ගැනීමෙන් පසුව.
” මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම සහ දූෂණය පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයින් කිහිප දෙනෙකු සිටින බවත් පොලීසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඔවුන් ගැන විමර්ශනය කළ හැකිව තිබෙනවා. පොලිසිය ගත් ක්‍රියාමාර්ගවලට මම එකඟ වන්නේ නැහැ” යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ
කෙසේවෙතත් මෙය කුමන්ත්‍රනයක් බවත් විපක්‍ෂය මේ වන දෝෂාරෝපණය කරමින් සිටිනවා.
මේඝා