කෞතුකාගාර වල තියෙන්න ඕන යකඩ ගොඩවල්

Haputale
මේ දින වල බෙහෙවින්ම කතා බහට ලක් වන්නේ හපුතලේදී කඩා වැටුණු ගුවන් යානය ගැන. හපුතලේ තම්බපීල්ල ප්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්නැයි පාර්ශව 05 කට බණ්ඩාරවෙල අධිකරණය නියෝග කලේ ඊයේ 4 වනදා. තවම ඒ ගැන තොරතුරක් නැහැ කොහොම වුනත් ඒ අනුව රජයේ රස පරීක්ෂක, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මෙලෙස කරුණු දැක්වීමට නියමිතයි.
මේ අතරතුරදී හපුතලේ ගුවන් අනතුරින් මිය ගිය ගුවන් හමුදා සෙබලුන් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බදුල්ල මහ රෝහලේදී අද සිදු කෙරෙන්නේ එම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පී. ඩබ්ලිව්. සී. එල්. එස්. වඩුගේ ප්‍රධානත්වයෙන්.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මිය ගිය එම නිලධාරීන්ගේ දේහයන් ගුවනින් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යාමද සිදු වෙනවා.
හපුතලේ, තම්බපීල්ල වතු ප්‍රදේශයකදී ගුවන් හමුදාවට අයත් වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් එම යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් නිරීක්‍ෂකයින් දෙදෙනෙකු මිය ගියේ පසුගිය 3වනදා පෙරවරුවේ. වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට පියාසර කරමින් තිබූ මෙම යානය නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිටියදී මෙම අනතුරට ලක්වුණා
කොහොමවුණත් මේ ගැන සෙවීමේදී අපට විවිධ තොරතුරු වාර්තා වුණා. මෙම ගුවන් යානා වසර 30ක් පරණයි. එවන් පරණ යකඩ ගොඩවල් කෙතරම් දුරට ධාවන තත්වයේ තියෙනවද යන්න ප්‍රශ්ණයක්. හරියටම කිවුවොත් චීනයේ  Harbin Aircraft Industry Group විසින් නිශ්පාදිත ද්විත්ව එන්ජින් සහිත මෙම අනතුරට පත් Herbin Y – 12 යානයේ වයස අවුරුදු 33ක්. තමන්ටත් වඩා ව‍යසින් වැඩි වාහනයක මහපොළොවෙ යන්නත් මිනිස්සු බය එකේ පුංචි කිරි සප්පයො ඉන්න, හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න තරුණ සෙබළුන් ඔවුන්ටත් වඩා වයසක බඩකඩිත්තුවක නැගලා අහසින් යන්න කියන්න තරම් අපේ රට දුප්පත්ද කියලා ප්‍රශ්ණයක් අපිට එනවා. නමුත් මිට පිළිතුරක් දක්වමින් ගුවන් හමුදාව පවසා තිබුණේ වසර 30ක් පරණ වුණත් මෙම ගුවන් යානා ධාවන තත්වයේ තිබු බවක්
 විදේශ රටවල ගුවන් සෙබළු අපේ රටට විවිධ පුහුණු කටයුතු සඳහා ආවම පිස්සො වගේ අපේ යානා අතගානවා, සෙල්ෆී ගහනවා කියලා මම අහලා තියෙනවා. හෙලිකොප්ටරයක් යද්දිත් එළියට දුවන අපිට මේවා මැජික් වුණාට ඔවුන්ට එහෙම වෙන්නෙ විදිහක් නැහැනෙ? හේතුව දුක්බරයි. මොකද ඒ රටවල මෙවැනි යානා සේරම භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නෙ. ඒව බලන්න යන්න ඕන ගුවන් හමුදා කඳවුරුවලට නෙමෙයි, කෞතුකාගාරවලට.
හෙට අලුත් සිද්ධියක් ඇවිල්ලා මේක යට යාවි. මිනිස්සුන්ට මැරිච්ච කොල්ලො ටික අමතක වේවි. හෙටත් තව හිරිමල් කොල්ලො ටිකක් පටවගෙන පරණ යකඩ ගොඩවල් බිම ඉන්න මිනිස්සුන්ගෙත් ජීවිත තුට්ටුවකට මායිම් නොකර ඉගිලේවිද ? එසේ නොවන්න වගකිවයුතු බලධාරීන් වග බලා ගත යුතුව ඇත.
මේඝා