ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් උසස් මට්ටමකට ……

Gota-Modi

ඉන්දියානු සාගරය සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමීපව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සමග ද්වි පාර්ශ්වීය සාකච්ජා පැවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් උසස් මට්ටමකට ගෙන ඒමට තමන් කටයුතු කරන බවත් තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස සිදුකරමින් දැක්වූ නිල ආරාධනාව සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සිය ස්තුතිය පළකරනු ලැබුවා.

ශ්‍රී  ලංකාවේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් ලබාදුන් බවත් ඩොලර් මිලියන 50 ක් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වන ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ලබාදුන් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනු ලැබුවේ.

දෙරටේ අතර ආරක්ෂාව සහ බුද්ධි අංශ සම්බන්ධතාවයන් වැඩිදියුණු කරලීම ගැන මෙහිදී රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබූ බවත් පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහය ගැන ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තුතිය පළකරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ කේෂත්‍රයන් දියුණු කරලීම සඳහා ඉන්දියාවේ සහය ලබා ගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගිතාවය වර්ධනය කරලීම සම්බන්ධයෙන් තමන් ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ජා කරනු ලැබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

තමන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සංචාරය කරනු ලබන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර සිටියා.

දෙරට අතර ගැටලුවක්ව පවතින ධිවර ප්‍රශ්නය සම්බන්ධයෙන් ද මෙහිදී දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ජා කරනු ලැබු බවත් ශ්‍රී ලංකාව භාරයේ තිබෙන ඉන්දීය ධිවර යාත්‍රා නිදහස් කිරීමට කටයුතු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මේ අතර ඉන්දීය අගමැතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලද මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එකතු කරනු ලැබුවා.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ සංහිදියාව සමබන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ඇති බවත් ලැබූ ජනවරම තුලින් එක්සත් සහ සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකාව ජනතාවගේ අභිලාෂය පෙන්නුම් කරන බවට ඉන්දීය අගමැතිවරයා කියා සිටියා.