මෙරට ආර්ථික වේගය දෙගුණයකින් වැඩි කිරීමට තවත් වසර 23ක් ගත වෙයි

economics
මෙරට ආර්ථික වේගය දෙගුණයකින් වැඩි කිරීමට තවත් වසර 23ක් ගත වෙයි
ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ, දකුණු ආසියානු කලාපයේ මූර්ත දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කරමින්.
දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් දෙවන අඩුම ආර්ථික වර්ධන වේගය පෙන්නුම් කරන්නේ ශ‍්‍රී ලංකාවෙන් බව එම වාර්තාවේ  සඳහන් වනවා. ශ‍්‍රී ලංකාව දෙවන වන්නේ ඇෆ්ගනිස්තානයට පමණයි.
දකුණු ආසියානු කලාපයේ පහළම වර්ධනයක් තිබෙන රට බවට නම් කර ඇති ඇෆ්ගනිස්ථානය මෙම වසරේදී අත්පත් කර ගනු ඇතැයි පුරෝකථනය කරන ආර්ථික වර්ධන වේගය සියයට 2.5 ක්. ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.7 ක් වනු ඇති බවටයි පැවසෙන්නේ. කෙසේවෙතත්, 2018 වසරේ දී මෙම අගය සියයට  3.2 ක් ලෙස වාර්තා වුණා.
ලෝක බැංකුව පවසන්නේ ආරක්ෂාව පිළිබඳ අභියෝග සහ දේශපාලන අවිනිශ්චිතතාවයන් පහවීමත් සමඟ ආයෝජන හා අපනයන යථාතත්ත්වයට පත්කිරීමේ හැකියාවක් ශ‍්‍රී ලංකාව සතු බවයි. ඒ අනුව මෙරට ආර්ථික වර්ධන වේගය 2020 දී සියයට 3.3 ක්ද, 2021 දී සියයට 3.7 ක්ද වනු ඇති බවටයි ලෝක බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
2019 වසරේ දී දකුණු ආසියානු කලාපය තුළ ඉහළම ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ බංග්ලාදේශයෙන්. එහි අගය සියයට 8.1 ක්. නේපාලයේ සියයට 7.1 ක ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනවා. මාලදිවයින, භූතානය සහ පාකිස්තානයේ ආර්ථික වර්ධනය ද ශ‍්‍රී ලංකාවට වඩා ඉහළ අගයක පැවතීම කැපී පෙනෙන සිද්ධියක්. ලෝක බැංකු දත්තවලට අනුව නුදුරේදීම බංග්ලාදේශයේ ආර්ථිකය දෙගුණයකින් ඉහළ යනු ඇති.