උතුරු පළාතේ ඉඩම් ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල්වෙයි

IMG-20190912-WA0054 (1)
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ පළමු හමුව අද (12) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්විණ.
විශේෂයෙන් උතුරු පළාතේ මේ වනවිට ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ඒ ඒ අංශ වලින් වෙනම කමිටු පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව උතුරේ ඉඩම් හිමි, එහෙත් මේ වනවිට විදෙස් ගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා විදෙස් ගතව සිටින ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඊට අදාළ අයදුම්පත උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් (https://np.gov.lk) ලබා ගත හැකිය.
ඒ අනුව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීමේ දෙවන හමුව ලබන 26 වන දින පත් කර ගන්නා ලද කමිටු නිළධාරීන් සමඟ පැවැත්වීමට නියමිතය.
දෙවන අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරන අතර එම හමුව ලබන 14 වනදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්වේ. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල ඉඩම් තෙවන අදියර යටතේ නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ.
ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, පොලිස් නිළධාරීන්, ඉඩම් අමාත්‍යාංශ නිළධාරීන්, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු අදාළ අංශවල සියලුම නිළධාරීන් සමඟ පා.ම මාවෙයි සේනාධිරාජා, පා.ම චාල්ස් නිර්මලනාදන්, පා.ම ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ පා.ම ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු නියෝජිතයන් මෙම විශේෂ හමුව සඳහා සහභාගි විය.