පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් FBI වාර්තා 5ක්

fbi
පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකාවේ FBI කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පැවසේ.
ඒ බව සනාථ කරමින් එම දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවක් ඊයේ (04) ලබා දීලා.
ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI)  විසින් එවනු ලැබූ එම වාර්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ අපේක්ෂිත වාර්තාවන් බවත් ඒවාට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙලෙස දැනුම් දුන්නා.
මිට අමතරව පසුගිය අපේ‍්‍රල් 21 වනදා සිදුකළ බෝම්බ ප‍්‍රහාර සැලසුමේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඞ් සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳ ඊයේ (04) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක හමුවේදී පැය 02ක රහස් ප‍්‍රකාශයක් ද ලබා දුන්නේ තුන් වන වරටය. මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා සිටින අබ්දුල් කාදර් පාතිමා කාදල් නමැති එම සැකකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.