එජාපයේ අපේක්ෂයා ගැන තීරණයක්

image_f6b63eef81
ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් වුණත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කරළියට නොපැමිණීම දේශපාලන වේදිකාව උණුසුම් කරන මාර්තෘකාවක් බවට පත් වෙලා.
මේ නිසාම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කරලා. ඒ  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිමේ අරමුණින්. ඔවුන්ගේ මෙම හමුව හෙට (05) දිනයේදී සිදුවෙනු ඇති බව වාර්තා වෙනවා. කොහොමවුනත් එජාප අපේක්‍ෂකයා ප්‍රමාදවීම ගැටළුවක් බව එක්සත් ජාතික පෙරමුණේ සාමාජික අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙන්ම බොහෝ මැති ඇමතිවරුන් සදහන් කරනවා.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත් සමග එජාපයේ දෙපිලකට බෙදී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවගේම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව පැවසෙන්නේ එජාප පෙරමුණ සජිත්ට අකමැති වුණොත් ඔහු ජනාධිපති මෛත්‍රී සමග එකතු වන බවයි.
අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් නව වැඩපිළිවෙලක් ආරම්භ කරමින් ඔවුන්ගේ අත්සනින් යුත් ලිපියක් පක්ෂ නායකත්වයට භාර දෙන්නත් මේ වන විට කටයුතු යොදලා තියෙන්නේ පක්‍ෂ නායකයා මේ පිළිබදව දරන නිහඩතාවය නිසා.
මේ පිළිබදව අදහස් දක්වමින් එජාපය පවසන්නේ  ඉදිරි ජනාධිපති  අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බවත් එම කටයුත්තට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් එකතුවීම ගැටලුවක් නොමැති බවත්ය.
කෙසේ වුවත් සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය විසින් සංවිධාන කර ජන රැළි සාර්ථකව රට පුරා යද්දී එය එසේ නොකරන්නට පක්ෂ නායකයා දැනුම් දුන්නත් එම දැනුම් දීම නොතකා සජිත් ප්‍රේමදාස තුන්වන ජන රැලිය හෙට (05) දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතයි. මීට පෙර ඔවුන්ගේ මෙම ජන රැළි දෙක බදුල්ල සහ මාතරදී පැවැත්වුණා.
එමෙන්ම මුස්ලිම් කොංග්‍රසය වගේම TNA අද දවසේදී පැවසුවේ ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න කාටද යන්න තීරණය කරනු ලබන්නේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බවටය.