pettah
රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය අද(04)  06 වන දිනටත් ක්‍රියාත්මක වූ අතර තවත් වෘත්තිය සංගම් කිහිපයකම සහාය ඊට හිමිවන බවද වාර්තා වෙයි.
පිටකොටුවේ තොග වෙළෙඳසල් හෙට දින වසා දමා මෙලෙසින් හර්තාල් ව්‍යාපාරය පවත්වන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳන්ගේ සංගමය පවසයි.
රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා තමන්ට සිදුව තිබෙන පාඩුව සඳහා රජය කඩිනමින් මැදිහත් වන්නැයි ඉල්ලීම මෙහි අරමුණයි.
රේගු නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ නිශ්කාෂන කටයුතු සියයට 90කින් පමණ පහත වැටී ඇති බවයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය හදිසියේ ස්ථාන මාරුකර ඒ වෙනුවට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට විරෝධය පළකරමින් රේගු වෘත්තිය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කලේ පසුගිය බදාදාය.
මේ හේතුවෙන් පෑලියගොඩ ගබඩා සංකීර්ණය සහ බහාලුම් පරීක්ෂණ අංගනය මෙන්ම , ඔරුගොඩවත්ත බහාලුම් පරීක්ෂණ අංගනයෙහි ද  මෙහෙයුම් අකර්මණ්‍ය වී තිබේ.
වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගු නිෂ්කාශන අංශයෙන් සාමාන්‍ය භාණ්ඩ නිෂ්කාශනය කිරීම නවතා ඇති අතර  මේ වන විට නිෂ්කාශනය කරනු ලබන්නේ අල, ළූණු , ඖෂධ වර්ග සහ ශීතකළ බහාලුම්වල ආහාර පමණක් බව වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ අතර රේගු නිලධාරින්ගේ සංගමය තවත් වෘත්තිය සමිති කිහිපයක් සමඟ එක්ව ඊයේ(03) රාත්‍රියේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වුණි.
මේ අතර වෘත්තිය සමිති 12කින් සැදුම්ලත් සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ රේගු නිලධාරින් දියත් කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සිය පූර්ණ සහාය ලබාදෙන බවයි.
මේ අතර රේගු වෘත්තිය ක‍්‍රියාමාර්ගය නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළෙඳුන්ට සිදුව තිබෙන පාඩුව සඳහා  රජය කඩිනමින් මැදිහත්වන්නැයි ඉල්ලා හෙට දිනයේදි පිටකොටුව තොග වෙළෙඳසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් රේගු මෙහෙයුම්වලින් රජයට දෛනිකව රුපියල් බිලියන 3ත් 4ත් අතර ආදායමක් උත්පාදනය කර දෙන අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම මුදලින් 80% ක පමණ ප්‍රමාණයක් දිනකට රජයට අහිමි වන බව රේගු නිලධාරින්ගේ සංගමය පෙන්වා දෙයි.