ranil

නව ව්‍යවස්ථාවක් තියා ව්‍යවස්ථා කෙටුම්පතක්වත් සකස් කර නොමැති බවට රනිල් වික‍්‍රමසිංහ මහතා ගාල්ල යක්කලමුල්ල කරාගොඩ ශී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළදෙමහල් භික්ෂු නේවාසිකාගාරය,  දහම්පාසල් ශාලාව හා දානශාලාව සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කරන ලදී. ඩි එස් සේනානායක, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස වැනි එක්සත් ජාතික පක්ෂ නායකයන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන ස්ථාවරයේ සිට කටයුතු කරනු ලැබූ බවත් තමාගේ ස්ථාවරය ද එය වන බවත්  අග්‍රාමාත්‍ය වරයා පවසන ලදී. අග්‍රාමාත්‍යවරයා එසේ පවසනු ලැබුවද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය තුළ ඉංග්‍රීසී භාෂාවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථා කෙටුම්පතක් යනුවෙන් හදුන්වා ඇති බවයි.  

අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම දේශපාලඥයින්ගේ වගකීම මෙන්ම ඔවුන් සිදු කරන  ප්‍රකශ වල වගකීම ඔවුන් සතුය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාලන බලය හිමිවන්නන් ලෙස අපව මුලාවට පත් කිරීමට දේශපාලඥයින්ට ඉඩ දිය නොහැක. නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය පවතින දේශපාලන අර්බුද විසදීම උදෙසා සත්භාවයෙන් ගෙන එන්නක් විය යුතු අතර එය හුදෙක් පක්ෂ හෝ කණ්ඩායම් වල දේශපාලන උවමනා එපාකම් උදෙසා ගෙන එන්නක් නොවිය යුතුය. අලුත් ව්‍යවස්ථාවක් යනු රටේ අනාගතය වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට ලැබෙන ප්‍රධාන අවස්ථාවයි. සැබෑ අන්දමින් ජාතික ප්‍රශ්න විසදීමට හැකි ව්‍යවස්ථාවක් ගෙන එම වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරය වන අතර එය එසේ නොවුනහොත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂා බිද වැටීමේ  ආරම්භය එහි දී පටන් ගනු ඇත.

සටහන – පබසරා රාජකරුණා