monk

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් වන ලෙස ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසට බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබමින් ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාළ, ධර්ම විජය පදනම, තරුණ බෞද්ධ සංගමය ඇතුළු සංගම්  නියෝජනය කරන මහත්ම මහත්මීන් ඇතුළු 29 දෙනෙකුගේ අත්සනින් යුතුව එම විශේෂ ප්‍රකාශය නිකුත් කර ඇත.

රටේ ජනතාවට පවතින ප්‍රශ්න සියල්ල එක සමාන ය. ඒ සදහා ජාතිය ආගම හෝ කුලය අදාළ වන්නේ නැත. නීති සම්පාදන බලය හිමි වන්නේ පාර්ලිමේන්තුව වෙතටය. ඒ වෙනුවෙන් මහජන නියෝජිතයන් 225 දෙනෙකු තෝරා ගනු ලබන්නේම ජනතාව විසින්මය. එකී බලය මහා සංඝරත්නයට කිසිදු නීතියකින් හිමි නොවන්නේය. නමුත් ඉතිහාසය පුරා මහා සංඝරත්නය ලාංකීය දේශපාලනයට කළ බලපෑම ඉමහත්ය.  ආගම හා රාජ්‍ය යනු දෙකකි. නමුත් ලංකාවේ රාජ්‍ය බලය උරුම කර ගැනීමේ සිට එය පවත්වා ගැනීම දක්වා ප්‍රධාන මෙවලමක් බවට මහා සංඝරත්නය භාවිතා කරනු ලබයි. ඇතැම් භික්ෂුන් වහන්සේලා ජාතිවාදය වෙනුවෙන් පෙරමුණ ගෙන සුළු ජාතින්  කෙරේ වෛරය පැතිරවීමට සමත්ය. රටක පාලකයන් සියලු දේ කළ යුත්තේ රටක් ඉදිරියට ගෙන යාමට මිස පසු පසට ගෙන යාමට නොවේ. ඒ වෙනුවෙන් කටයුතු කිරීම දේශපාලඥයින්ගේ වගකීම වුවද ඔවුන් සිය වගකීම් පැහැර හැර ඇති සමයක භික්ෂුන් වහන්සේලා ඒ වෙනුවෙන් පෙරමුණ නැගීම ඉතිහාසය පුරාම සිදු විය.

සටහන- පබසරා රාජකරුණා