sanga

ඉකුත් 4දින සවස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරය තුළ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇත. එම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක නිලධාරීන් හා ලේකම්වරුන් සිය නිල කාමරයෙන් ඉවත් කර සංගක්කාර සමග රහස් සාකච්ඡාවක් පැවැත්වූ අතර එය පැය දෙකහමාරක් පමණ පැවතුණි. මහජනතාවගේ පුද්ගල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන ලද බවට ආරංචි මාර්ග පැතිර ගියද සංගක්කාර සහ රාජිත අතර පැවතී දීර්ඝ රහස් සාකච්ඡාව දේශපාලන කරළිය නැවත උණුසුම් කරන කාරණයක් බවට පත් වී ඇත.

2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ගෙන ඒමට මුලිකව කටයුතු කරන ලද්දේ රාජිත සේනාරත්න මහතායි . මීලග ජනාධිපතිවරණය සදහා එජාපය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට රාවයක් පවතින අතර මේ වන විට එම අපේක්ෂකයා සංගක්කාර විය හැකි බවට දේශපාලන කසුකුසුවක් පවතී. එය වඩාත් තිවුර වුයේ රාජිත සංගක්කාර රහසිගත සාකච්ඡාවයි. නමුත් තමන් කිසිදා දේශපාලනයට නොඑන බව සංගක්කාර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරන ලදී. නමුත් මෙම දෙපලගේ හමුවීම අලුත් දේශපාලන ගමනක ආරම්භයක පෙරමන් සලකුණක් විය හැකිය. සංගක්කාර ක්‍රීඩා කෞශල්‍යය අතින් ඉහළ ස්ථානයක සිටියෙකි. නමුත් ඔහුගේ දේශපාලන කෞශල්‍යය අප දැක නැත. දේශපාලනයට පිවිසීම තුළින් ඔහු මෙතෙක් ගොඩ නගා ගත් කිර්තිය, ක්‍රීඩාලෝලින්ගෙ ආදරය, ආශීර්වාදය දේශපාලනය නිසා විනාශ විය හැකිය. විවිධ ක්ෂේත්‍රයන්  ඔස්සේ රටට ජාතියට සේවය  කර ජනතා ගෞරවයට පත් වූ චරිත දේශපාලනයට පැමිණ, අද ඔවුන් අත්කර ගෙන තිබෙන ඉරණම පිළිබඳ කතා කර ඵලයක් නැත. බොහොමයක් තමන් තෝරා ගත් දේශපාලන මාවත තමන් විසින්ම වරද්දවා ගැනීමෙන්, රටට ජාතියට අත්වී ඇති විනාශයට ඔවුන් මෙන්ම ජනතාවත් වගකිව යුතුය. සංගක්කාරට එසේ නොවේ වා යැයි ප්‍රර්ථනා කරමු.