ppppo

අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලයක් පත් කලද කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම් දීම සදහා පිහිටුවා ඇති කැබිනට් ප්‍රකාශක තනතුර සදහා මේ වන තෙක් කිසිවෙකු පත් කර නොමැත. සතිපතා කැබිනට් තීරණ දැනුම් දීම උදෙසා මාධ්‍ය හමුවක් පවත්වන අතර මේ හේතුවෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක් මෙතෙක් පවත්වා නොමැති බැවින් කැබිනට් තීරණ දැනුම්දීමේ කටයුත්ත ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පෙර කටයුතු කරන ලද්දේ රාජිත සේනාරත්න හා ගයන්ත කරුණාතිලක යන ඇමතිවරුන්ය. නමුත් මෙවර ඔවුන් නැවත එම තනතුරු බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ වන තෙක්ම එම තනතුරු භාර ගැනීම උදෙසා කිසිදු අමාත්‍යවරයෙක් සිය කැමැත්ත ඵල කර නොමැත.

කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ සිවිල් සමාජය වෙත ගෙන එනු ලබන්නේ කැබිනට් මාධ්‍ය හමුව මගින්ය. එකී තීන්දු තීරණ දැන ගැනීම ජනතා අයිතිවාසිකමකි. ඒ වෙනුවෙන් නියෝජිතයෙකු පත් කර ගැනීමට නොහැකි වීම වත්මන් ආණ්ඩුවේ නොහැකියා ප්‍රදර්ශනය කිරීමකි. ශ්‍රී ලංකාව දේශපාලඥයින්ගේ බල අරගල හේතුවෙන් විනාශ වූ රටකි. මේ තත්ත්වය රටේ අවාසනාවකි. ජනතාවට එකී බල අරගලයෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නැත. එජාප රජය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර පවතින දේශපාලන අර්බුද විසදන බවට සදහන් කල ද ඔවුන්ට තවමත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරු සදහා අමාත්‍යවරයෙකු පත් කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇත. එවැනි තත්ත්වයක අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුවේ 2/3 සහාය ලබා ගැනීමට හැකි වේ දැයි සිතිය නොහැකිය.

සටහන- පබසරා රාජකරුණා