laggala

නව ලග්ගල නගරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී. ඒ සදහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු,පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමග එක් විය.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට නවීන පහසුකමිවලින් සමන්විතව, කළුගඟ ජලාශයට නුදුරින් නව ලග්ගල නගරය ඉදිකර ඇත. මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද අතර  අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇත. මේ සදහා යෙදවූ  මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි. දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසට මෙම ව්‍යාපෘතිය දැක්විය හැකිය.

 නව ලග්ගල නගරය තුළ රාජ්‍ය ආයතන බොහොමයක් දැකගත හැකි වන අතර ඒවා එකිනෙකට සම්බන්ධ වෙන ආකරයෙන් ස්ථාන ගත කර ඇත. එමෙන්ම ලග්ගල නව හරිත නගරයේ නව ප්‍රාදේශීය රෝහල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ ජනතා අයිතියට පවරා දීම සිදුවිය.

සටහන- පබසරා රාජකරුණා