hhhhlll

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව රජය ප්‍රකාශ කර ඇත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ව්‍යවස්ථාදායක සභාව පිහිට වූ අතර එය කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශේෂඥයන් ඉදිරිපත් කළ යෝජනා සහ නිර්දේශ ලබා ගැනීමේ කාර්යය මේ වන විට අවසන් වී ඇත. විධායක ජනාපති ධුරය අහෝසි කිරීම,පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබා දීමපළාත් සභා විධිමත් කිරීම හා පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ලබා දීම ආදී වැදගත් යෝජනා රැසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් විය යුතු යැයි විශේෂඥයන් විසින් රජයට යෝජනා කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දේශපාලන පක්ෂවලින් ගත් යෝජනා හා නිර්දේශ ද ව්‍යවස්ථා සභාවට යොමු කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය මත රටක් පාලනය කිරිමට මෙන්ම රට ඉදිරියේ පවතින අභියෝග ජය ගැනීමට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය වේ. ව්‍යවස්ථා අර්බුද හරහා පසුගිය කාලය පුරාම අප අත්දුටුවේ ශ්‍රී ලාංකීය දේශපාලනයේ සැබෑ තත්ත්වයයි. ජාත්‍යන්තරය තුළ රටේ කිර්ති නාමය පළුදු වීමටද එය මුල් විය. ආණ්ඩු බලය ලබා ගැනීමේදී ජනතා දායකත්වය අතිශය වැදගත් වුවද ආණ්ඩුකරණයේදී ජනතා අදහස් නොසලකා හැරීම ඉතිහාසයේ පුරාම සිදු වන්නකි. එසේ හෙයින් නව ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ අභිලාශ නිරුපණය විය යුතු සේම එය ලාංකීය ජන සමාජයට ගැලපෙන එකක් විය යුතුය.

සටහන- පබසරා රාජකරුණා