arjun

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් සිදු වූ දැවැන්තම බැංකු මංකොල්ලය වශයෙන්  මහබැංකු මුදල් වංචාව දැක්විය හැකිය. මහබැංකු  බැදුම්කරය හරහා අති දැවැන්ත වූ දුෂණයක් සිදු ව තිබෙන බව නොරහසකි. එහි ප්‍රධාන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී  කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබාදීමට ඉකුත් 1 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනවිය නියෝග කරන ලදී. මෙහිදී එක් අයකුට රුපියල් මිලියනයක් බැගින් වු  මුදල් ඇප දෙකක් සහ එක් අයකුට රුපියල් මිලියන 2 බැගින් වු ශරීර  ඇප 4 ක් මත  ඔවුන්ට ඇප ලැබුණු අතර එම ඇපකරුවන් ඔවුන්ගේ ලගම  ඥාතීන් විය යුතු බවට මහේස්ත්‍රාත්වරිය විසින් දන්වා සිටින ලදී. සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන්ද තහනම් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සෑම මසකම අවසන්  ඉරිදා 9 සහ12 අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටිය යුතු බවටද නියෝග කර ඇත. එමෙන්ම සැකකරුවන් දෙදෙනාගේ දරුවන්ගේ අසනීප තත්ත්වයන් පිළිබඳව සළකා බලමින්  මෙලෙස ඔවුනට ඇප නියම කරනු ලැබූ බව දන්වා සිටින ලදී.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයට සෘජුවම වගකිවයුත්තා අර්ජුන මහේන්ද්‍රන්ය. ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර ඇත. නමුත් මේ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වල සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් ලගාකරගෙන නොමැති අතර ඔහු රිසි සේ සිංගප්පුරුවේ කල් ගෙවයි.  මහින්ද රාජපක්ෂ මහතා පරාද කිරීම සදහා මුල් වුණ ප්‍රධාන කරණය වන්නේ ඔහු තමන් සන්තක බලය අසීමිත ලෙස යොදාගනමින් දුෂණය වෙනුවෙන් අනුග්‍රහය සැපයීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ වේදිකාවන්හිදී රාජපක්ෂවරුන්ගේ දුෂණය ගැන කථා කළේය. දුෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව පැවසිය.  එවැනි පසුබිමක් තුළ මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ජනධිපතිවරයාගේ හා එජාප ආණ්ඩුවේ ප්‍රධාන වගකීමකි.