kkk

පාර්ලිමේන්තුව විසිරුවාලීමට අදාළ අධිකරණ තීන්දුව හා පැවති දේශපාලන වාතාවරණය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉල්ලා අස් විය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බවට පත් විය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක තනතුරට පත් වීම ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය  පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකළ අතර එම අර්බුදය විසදීම සදහා  කතානායකවරයා විසින් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්ද පත් කරන ලදී.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පසුගිය මහා මැතිවරණයේදී තරග කරනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. නමුත් මහින්ද රාජපක්ෂ අගමැතිධුරයට පත්වී දෙසතියකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ලෙසයි. එබැවින් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන බවට තර්කයක් මේ වන විට ගොඩ නැගී ඇත. මෙහිදී එකසත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කතානායකවරයා වෙත ලිඛිතව දන්වා සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු බවත් ඔහුව විපක්ෂනායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති  බවයි.

රටක විපක්ෂය යනු රටේ ඊළගට බලයට පත්වන දේශපාලන ව්‍යාපාරයයි. රටක විපක්ෂය තුළින් සිදු විය යුත්තේ ආණ්ඩු පක්ෂයට එරෙහිව ක්‍රියාකිරීමයි. නමුත් පෙර විපක්ෂනායක නායක ධුරය දැරූ ද්‍රවිඩ ජාතික සන්ධානය තුළින් විපක්ෂයේ සැබෑ භූමිකාව දැකගත නොහැකි වූ අතර ඔවුන් පැවති ආණ්ඩුව සමග එකට එක්ව කටයුතු කරන ලදී. නමුත් මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක ධුරයට පත් විමත්  සමග විපක්ෂයේ සැබෑ භූමිකාව පාර්ලිමේන්තුව තුළ දැකගත හැකි විය. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන විපක්ෂ බලවේගය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ හට ජය ගැනීමට අභියෝග රාශියක් පවතී. විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලුව ලිහා ගැනීම ඉන් පළමු වැන්නයි.

 
සටහන :  පබසරා රාජකරුණා