රූපවාහිනි නාලිකා මෝඩ වෙන තරමට මේ රටේ ඡන්ද දායකයොත් මෝඩ වෙනවා. – හර්ෂ තෙන්නකෝන්

Harsha 1

By Tharushi Nawanjana Liyanachchi

‘කොළඹ අපි ආවා’ නාට්‍යයේ අරවින්ද,  ‘දේදුන්නයි ආදරේ’ නාට්‍යයේ සෙනෙෂ් වගේම ‘මෞනයාගය’ ,’සිහින වර්ෂා’, ‘අනන්තා’ ඇතුළු මේ දිනවල විකාශනය වන නාට්‍ය රැසක නාලිකා රැසකින් ඔබ හමුවට පැමිණි චරිතයන්ට පණ පොවන්නෙ ඔහු. නමින් හර්ෂ තොන්නකෝන්..

ඔබ නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයිද? නැත්නම් රංගන කටයුතු පමණයිද?

මම රංගන කටයුතු පමණයි සිදුකරන්නෙ

ඔබ රංගනයට දායක වූ ටෙලිනාට්‍ය අතරින් ඔබ වැඩියෙන්ම ප්‍රිය කරන්නෙ කුමන නාට්‍යටද?

තාම එහෙම එකක් නැහැ.

Harsha 3

ලංකාවෙ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ මෑතකදි සිදුවුණ වෙනස්කම් විදිහට ඔයා අඳුනගන්නෙ මොනවද?

හොඳ පැත්තට වෙනස් වූ ප්‍රවණතාවක් මා හඳුනාගන්නෙ නැහැ. එයට ප්‍රධානතම හේතුව තමයි රූපවාහිනි නාලිකා ප්‍රමිතියකින් තොර වීම. ඒ වගේම රූපවාහිනි නාලිකා ඒකාධිකාරයක් පවත්වාගෙන යෑම, රූපවාහිනි නාලිකාවන් වෙනුවෙන් කඩේ යන අයගේ පමණක් නිර්මාණ එළිදැක්වීම, Episode එකකට ගෙවන මුදල අඩුවීම නිසා හොඳ නිර්මාණයකට අවස්ථාව අහිමි වීම හඳුනාගත හැකියි. Ratings මත පදනම් වීම නිසා කලාත්මක නිර්මාණ ප්‍රේක්ෂකයින් අතරට නොපැමිණීම, හඬකවන ලද විදේශීය ටෙලිනාට්‍ය නිසා ලංකාවේ සිදුකෙරෙන නිර්මාණයන් සඳහා විකාශන කාලය අහිමි වීම ආදිය හඳුනා ගත හැකියි. එම නිසා බොහෝ නිර්මාණකරුවන්ට තම නිර්මාණ එළිදැක්විය නොහැකිව කලකිරි සිටිනවා. නළු නිළියන්ට ද නිසි ගෙවීම් නොලැබෙන නිසා ඔවුන් අයථා මාර්ගයන්ගෙන් මුදල් ඉපයීමට පෙළඹෙයි.

ලංකාවෙ ඩිරෙක්ටර්ස්ලා ගැන මොකද හිතන්නෙ?

හොඳ දක්ෂ අය ඉන්නෙ අත‍ළොස්සයි. ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නෙත් නැහැ. නමුත් මුදල් බලයෙන් ඉදිරියට එන අය අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් දැනුම අඩු අය. ඒත් වැඩි වශයෙන් සිටින්නෙ දෙවනි පාර්ෂවයට අයත් පිරිස.

රංගන ශිල්පිනියන්ට අධ්‍යක්ෂ වරුන්ගෙන් අයුතු බලපෑම් සිදුවන බව සමාජයේ අහන්නට ලැබෙනවා.. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?

ඔව් ඒක ඇත්ත. හැමෝම නෙවෙයි. නමුත් ඒක මේ ක්ෂේත්‍රයේ පමණක් තිබෙන ගැටලුවක් නෙවෙයි. කුමන ක්ෂෙත්‍රයක වුවත් බලවත් අය අනෙකාව පාවිච්චි කරනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්වම.

Harsha 2

ලංකාවේ රංගනයට කැමති අයෙක් ඉන්නවා නම් ඒ කෙනාට ක්ෂේත්‍රයට එන්න ක්‍රමයක් මෙ වෙනකොට තියෙනවද?

රංගන වැඩමුළු කිහිපයක් තියෙනවා. නමුත් එතුළින් සෘජුව ක්ෂේත්‍රයට සම්බන්ධ වීමේ ක්‍රමයක් නැහැ. වෙනත් දැනහැඳුනුම්කම් මත පැමිණෙන අය තමයි බොහෝ සිටින්නෙ. වේදිකාවේ රඟපාලා එන අය ඉන්නවා. වෙනත් බාහිර රඟපෑම් හරහා එකතු වෙන අය සිටිනවා. ඒ වගේම Model කෙනෙක් වෙලා Act කරන්න එන අයත් ඉන්නවා. නිසි ක්‍රමවේදයක් නොමැතිකම නිසයි එහෙම වෙලා තියෙන්නෙ.

ඩිරෙක්ටින් වලට කැමති නැද්ද?

මම ආසම ඩිරෙක්ටින්වලට තමයි. මං වේදිකාවෙත් රඟපාලා තියෙනවා. මම Actor කෙනෙක් වුණේ අහම්බෙන්. මට වුවමනාව තිබුණෙ අධ්‍යක්ෂනයට සම්බන්ධ වෙන්න.

වැඩියෙන් චාන්ස් ලැබෙන්නෙ කෙල්ලන්ටද කොල්ලන්ටද?

එහෙම නැහැ. දෙගොල්ලන්ටම ලැබෙනවා.

සමස්තයක් විදිහට ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිදු වෙන්න ඕන වෙනස් කම් විදිහට ඔබ හඳුනාගන්නේ මොනවාද?

රජයේ මැදිහත්වීමෙන් ප්‍රතිපත්ති රාමුවක් සකස්විය යුතුයි. නමුත් අපිට එහෙම වෙනසක් පිළිබඳ බලාපොරොත්තු විය නොහැකියි. මොකද ලංකාවේ දේශපාලනය තීරණය කරන බහුතර ඣන්දදායකයින් රෑපවාහිනි නරඹන අය. රූපවාහිනිය මෝඩ වෙන තරමට ඡන්දදායකයොත් මෝඩ වෙනවා. එතකොට පාලනයට ලේසියි. ඒ නිසා ඔවුන් එය වෙනස් වෙනවට කැමැත්තක් නැහැ.

ඔබ රංගනයේදි චරිත තොරාගැනීමක් සිදු කරනවද? කරනවා නම් ඇයි ඒ?

මම චිරිත තෝරාබේරා ගැනීමක් සිදුකරන්නෙ නැහැ. මොකද මේක මගේ රැකියාව. හැබැයි මං මිනිස්සු තෝරා බේරා ගන්නවා.

ඔබට නිරුවත්ව චරිතයකට පණ පොවන්න කිව්වොත් ඔබ කැමති වෙනවද?

ඔව්. හැබැයි හරි මිනිස්සු ළඟ පමණයි.

පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

මම විවාහකයි. අම්මයි අප්පච්චියි නැගණියයි තමයි නිවසෙ ඉන්නෙ. අපි විවාහයෙන් පසු වෙනම නිවසක පදිංචි වුණා. මම කැළණිය විශ්වවිද්‍යාලයෙන් MA උපාධියත් ගත්තා බාහිර ශිෂ්‍යයෙක් විදිහට . මගේ බිරිඳ Dancer කෙනෙක්. ඒ වගේම Designer කෙනෙක් විදිහටත් ඇය කටයුතු කරනවා. ඇයත් උපාධිදාරිනියක්.

ක්ෂේත්‍රයට අලුතින් එන අයට මොනවද කියන්න තියෙන්නෙ?

නිසි දැනුමක් ලබාගෙන ක්ෂෙත්‍රයට සම්බන්ධ වීම තමයි වඩා වටින්නෙ. මොකද තමන් කරන්නෙ වෘත්තියක් නිසා. අපි එයට ගරුකළ යුතුයි. තමන්ගෙ තැන හදාගන්න පුළුවන් තමන්ටමයි. මේ කරුණු විනෝදයට රඟපාන අයට අදාළ නැති බවත් කියන්න ඕන.

මොනවද ඉස්සරහට ඔයාගේ ජීවිතේ සැළසුම්?

ගොඩක් Plan එක්ක යන්න පුළුවන් රටක් නෙවෙයි මේක. අපි බලාගෙන ඉඳිමු.

ස්තුතියි හර්ෂ.. අපි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

-සංවාද සටහන – තරුෂි නවංජනා ලියනාච්චි.