“නිවසක් තනා පරිත්‍යාග කරන විට ඔවුන් ජීවත් වූ බංකරය මතක සටහනක් ලෙසින් ඉතිරි කළා” – හිටපු යුධ හමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ

21192866_1418224278213286_5552355680997804488_n

මේ තනන්නේ වංශය කබල් ගාමින් හිගන්නාගේ තුවාලය පෑරීමට නොවේ…මුළු ලංකාද්වීපයම ලේ ගලන තුවාලයක් බවට පත් කළ යුගය නිමා කරන්නට සිය සිනහව, යෞවනය, ආදරය, අධ්‍යාපනය මතු නොව අන්තිම හුස්මද පූජා කිරීමට ගොස්  දිවි  ගලවා ගත් ප්‍රජාවකට සිදුව ඇති අසාධාරණය හෙළි කරන්නටය.

එකිනෙකාගේ පාදඩ  දේශපාලන අවශ්‍යතාවන් ඉටු කර ගැනීම වෙනුවෙන්  නිර්මාණය වූ සටනකට සිහිනෙන්වත් උඩගෙඩි නොදුන් ලක්ෂ ගණනකගේ ලේ වලින් ලියූ ඉතිහාසයක්  මේ ලංකා ඉතිහාසයේ වසර 30කටත් වඩා අරක්ගෙන ඇති බව දැන්නම් ඉස්කෝලේ ඉතිහාස පාඩමේවත් උගන්වනවාදැයි සිතීමත් සැක සහිතය.

ඔවුන් සටන් වැදුණේ තෝරා බේරා ගත් එක් ජාතියක් පමණක් රකින්නට හෝ සියලු ජාතීන් වනසා දමා සිය ජාතිය පමණක් රජ කරවීමට නොව සිහල දමිළ මුස්ලිම් බර්ගර් ආදී  මෙරට සියලු ජන වර්ගයාගේ ජීවත් වීමේ අයිතිය රැක දීමටය..ඔවුන්ට කට පුරා රණ විරුවන් කියන්නේද මෙරට සියලු මනුෂ්‍යයා වෙනුවෙන් සිය ජීවිත කැප කළ හෙයිනි.

හමුදා නිල ඇදුමට මුවා වී තිරිසන් ජන්මයක් රග දැක්වූවන් හා සසදමින් මේ උදාර ජීවිතයන්ට නිගරු කිරීමට වෙහෙස නොගන්න .මේ ඉඩහසර වෙන් වන්නේ එවන් මුග්ධයන්ට නොව වෘත්තිය හදවතින්ම ඉටු කර ගෞරවනීය ලෙසින් යුධ බිමෙන් නික්ම ආ  උදාර මිනිසුන් උදෙසාය.

අබලන් වූ රෝද පුටු උඩ සහ කිහිලි කරු, ඇදන් මත ඉකි ගසන එකී ජීවිත කතාන්තර හුදු කතාන්තර විලසින්ම මියෙන්නට ඉඩ නොදී මේ  ලිපිය මත ගෙත්තම් වීම පිටු පස ද කතාවක් ඇත.  ඒ කතාව නිර්මාණය කරන්නේ ද මනුෂ්‍යත්වය උත්තුංග තලයකට රැගෙන ගිය සහෘද කැලකි.

 2008 මාර්තු 07 වන දින ඒ උදාර මිනිසුන්ගේ එකමුතුවෙන් බිහි වූ ආර්යා පදනම  ආබාධිත සොල්දාදුවන්ගේ ශාරීරික හා ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා දියත් කර ඇති මෙහෙයුම මේ අකුරු කරනවා තරම් පහසු වූවක් නොවේ.

දේශපාලන හස්තයන්ගේ සෙවණැල්ලවත්  නොවැටුණු  ඒ මෙහෙයුමද ගෙත්තම් වී ඇත්තේ කැපකිරීම්, රස්තියාදු වීම්, අපේක්ෂා කඩවීම් හා දිවා රෑ නොතකා හෙලන දහදිය කදුළු මතිනි.

චරිත් කිරි ඇල්ල  

මේ උදාර එකමුතුවේ නිර්මාතෘවරයෙකු මෙන්ම ආරම්භයේ සිට මේ දක්වා කොදුනාරටිය මෙන් ශක්තිය දෙන ප්‍රවීණ මාධ්‍යෙව්දී චරිත් කිරිඇල්ලයන් ආර්යා හරහා ඉටු කරන්නේ අමිල මෙහෙවරකි. යුධ වාර්තාකරණයේ කැපී පෙනෙන සේවාවක් ඉටු කළ ඔහු මාධ්‍යෙව්දියෙකු ලෙස පන්හිදෙන් ඉටුකරන කාර්්‍යභාරයෙන් ඔබ්බට ගොස් සමස්ත ශ්‍රී ලාංකිකයන් සතු වගකීම  කරට ගෙන දිවා රෑ වෙහෙසෙන්නේ ආබාධීත වූ සොල්දාදු ජීවිතය එක් පියවරකින් හෝ නගා සිටුවීමේ පිපාසයෙනි.

වසර 08ක ගමන් මග තුළ ආර්යා පදනම ඉටු කරන කාර්්‍යභාරය සහ අරමුණ පිළිබද ඔහු බොස්ටන් ලංකා හා අදහස් පළ කළේ මෙලෙසිනි.

අද අපි නිදහසේ හෙලන සෑම හුස්මපොදක් පාසාම අපි ඔවුන්ට ණයගැතියි. සමස්ත ශ්‍රී ලාංකිකයන් සතුවම මොවුන් පිළිබද වගකීමක් තිබෙනවා.  මෙම සංවිධානයේ පරමාර්ථය ඒ වගකීම ඉටු කරමින් ආබාධිත සොල්දාදුවන්ගේ ජීවිත නගා සිටුවීමට උර දීමයි. මෙතනදි බොහෝ අය නොදන්නා දෙයක් තිබෙනවා. යුද්ධය ආබාධිත කළේ රණවිරුවන්ගේ ශරීරාංග මිසක් සිත නෙවෙයි. ඔවුන් සිතින් ඉතාම ජවසම්පන්නයි. ක්‍රීඩාවට කලා හැකියාවන් සහ වෙනත් ශල්පයන් සදහා පුදුමාකාර දක්ෂතා දක්වන ආබාධිත සෙබළුන් සිටිනවා. දෑස් අද වුවත් ඉලක්කයට දුනු විදීමේ ශිල්පයේ හපන්කම් දක්වන සෙබලෙක් සිටිනවා.ඔහු ලබා ඇති දෙස් විදෙස් ජයග්‍රහණ ගැන මාධ්‍ය අහලාවත් නැතුව ඇති.ඔවුන්ට නිසි සහයෝගය ලැබුණොත් ජාත්‍යන්තරයේ ජයග්‍රහණ රැසක් මෙරටට රැගෛන එන්න පුළුවන්.

2008 වසරේදි මුලින්ම කලා කලාකරුවන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වෘත්තීය වේදීන් පිරිසක් එකට එකතුවෙලා  තමයි මේ සංවිධානය පටන් ගත්තෙ.  

අපේ විධායක් අධ්‍යක්ෂතුමන් වන හිටපු යුධහමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා තමන්ගේ ජීවිතේ තරුණ ජවය මුළුමනින්ම යුද්ධය සදහා කැප කරලා විශ්‍රාම ගිය පසුත් තමන්ගේ සේවය සෙබලුන්ගේ ජීවිත නගා සිටුවීම සදහා කැප කර තිබෙනවා. එය අපිට විශාල ශක්තියක්. එසේම ප්‍රවීණ කලා ශිල්පී ඩග්ලස්  රණසිංහ මහතා මෙම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. කොපමණ කාර්්‍යබහුල ජීවිත ගත කළත් මේ පිරිස ආර්යා පදනම හරහා සිදු කරන කරන සේවය  සදහා කැපවෙන්නේ හදවතින්මයි.

ආරම්භයේ සිටම අපිට හැකි අයුරින් අාබාධිත හමුදා නිළධාරීන් සහ සෙබළු වෙනුවෙන් ආධාර ලබා දෙන වැඩසටහන් රැසක් සිදු කළා. මේ වසර මුලදී  පනාගොඩ සිංහ රෙජිමේන්තුවේ ආබාධීත පිරිස 40කට ද්‍රව්‍යමය ආධාර ලබා දීමට අපි කටයුතු කළා. ඒ සදහා රොෂාන් මහනාම මහතා ඇතුළු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අප හා අත්වැල් බැද ගත්තා.

සෑම මසකම එක් ප්‍රෙද්ශයක රෙජිමේන්තුවක් තෝරාගෙන එහි සිටින ආබාධිත සෙබළුන්ගේ අවශ්‍යතා සොයා බලා අපි හැකි පමණ ආධාර කිරීම මේ දක්වා අඛණ්ඩව සිදු කළා. මේ එළඹෙන දෙසැම්බර් 09 වන දින අපි අනුරාධපුර ගජබා රෙජිමේන්තුවේ 500ක් පමණ වූ සෙබළුන්ට ද්‍රව්‍යමය ආධාර පිරිනැමීමේ වැඩසටහනක් සිදු කරනවා.

මේ සංවිධානයේ තිබෙන විශේෂත්වය තමයි 100%ක විනිවිද භාවය. මේ සෙබළුන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට කැමති ඕනෑම කෙනෙකුට ජාති බේදයකින් තොරව අප හා අත්වැල් බැද ගන්න පුළුවන්.

හිටපු යුධහමුදාපති ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ

මේ උතුම් සහෘද කැලට නායකත්වය දෙන  එහි විධායක අධ්‍යක්ෂ ජෙනරල්‍  ශාන්ත කෝට්ටේගොඩ මහතා බොස්ටන් ලංකා වෙත සිය අදහස් පළ කළේ මෙලෙසිනි.

මම  ආර්ය පදනමට සම්බන්ධ වුණේ ප්‍රවීණ මාධ්‍යවේදීදී චරිත් කිරිඇල්ල සහ ප්‍රවීණ නළු ඩග්ලස් රණසිංහ කළ ආරාධනාව මත.

විශ්‍රාම ගිහින් හිටියත් වසර 36ක යුධ හමුදා සේවය තුළදී  ලද අත්දැකීම් නිසාම මේ සේවයේ අත්‍යවශ්‍යතාව මා වටහා ගත්තා. 

ඔබ කවුරුත් නොදන්නවා ඇති…ඇතැම් ආබාධිත හමුදා සෙබළුන්ගේ තත්ත්වය කොතරම් ඛේදනීයද කියනවානම් ඔවුන්ට ගෙදර යන්න බැහැ. මේ ආබාධිත තත්ත්වෙන් ගෙදර යන සෙබලාව රැකබලා ගන්න නඩත්තු කරන එක පවා ඒ පවුල් වලට බරපතල ප්‍රශ්නයක්. ඔවුන් ආර්ථිකව ඒ තරම් ශක්තිමත් නැහැ.  ඒ නිසා ඔවුන් දරු පවුල්වලින් ඈත් වෙලා ගෙදර නොගොස් රණවිරු සෙවණවල්වල රැදී  සිටිනවා. සෙබළුන් ජාති බේද කිසිවක් නොතකා  රටේ සියලු වැසියන් වෙනුවෙන් ජීවිතය කැප  කරලා අද වෙනකොට ගෙදරවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියනවා.

මම දන්නෙ නැහැ මෙය ශ්‍රී ලාංකිකයන්ටම උරුම ලක්ෂණයක්ද කියා…යුද්ධය අවසන් වූ පසු දැන් අපේ බොහොමයක් ජනතාවට රණවිරුවන් යනු කවුරුන්ද කියාවත් මතකයේ නැහැ. යුද්ධයේ භයංකරත්වය අත් විදපු පරම්පරාවත් එසේ හැසිරෙනවනම් නව පරපුර ගැන කවර කතාද..එනිසා මා ඉල්ලා සිටිනවා ජාති බේද අත හැර මේ අසරණව සිටින සොල්දාදුවන් හට හැකි අයුරින් පිහිට වන්න කියා.

ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ  මැතිදුන් ආර්යා පදනම ඉකුත් වසර 08 තුළ දී ලබා දුන් සේවාවන්වලදී මතකයේ ගැඹුරු තැනක පැලපදියම් වූ සංවේදී අත්දැකීම් ද ගෙනහැර දැක් වූයේ මෙලෙසිනි.

මෑතකදී  අපිට වැලිඔය සේවයේ නිරත වෙලා ඉන්න වෙලාවේ උදරාබාධයක් හැදිලා මිය ගිය සෙබළකුගේ පවුලට නිවසක් ලබා දීමට හැකි වුණා. ඔහුගේ  බිරිදත් දරුවන් තිදෙනාත් ජීවත් වුණේ ඇතා වැටුණු වැව නම් දුෂ්කර ප්‍රෙද්ශයේ. යුධ සමයේ ඒක නිතරම මෝටාර් ප්‍රහාරවලට ලක් වෙන ප්‍රෙද්ශයක්. එනිසා ඔවුන් නිවෙස් වලට යාබදව පොඩි කොන්ක්‍රීට් බංකරයක් හදාගෙන හිටියා. මෝටාර් ප්‍රහාර එල්ල වන සැම විටම ඔවුන් ආරක්ෂාව පතා දිව ගියේ එතනට.

අන්තිමට අම්මටයි ළමයි 3 දෙනාටයි නිවස වුණේත් ඒ බංකරයමයි. මෙය එක්තරා පුවත්පතකින්  අනාවරණය කළ නිසා අපට දැන ගන්නට ලැබුණා. ඒ අනුව අපේ පදනමෙන් නිසි සොයා බැලීම් කර  පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඔවුන්ට නිවසක් තනා දීමට කටයුතු කළා. ඒ කාර්්‍යයට ඒ ප්‍රෙද්ශයෙ සිටින හමුදා නිළධාරීන්ගෙන් විශාල සහයෝගයක් හිමි වුණා. කාමර 3ක 

 පෙර පැවසූ බංකරය ඉවත් කළේ නැහැ. නාන කාමරය ලෙසින් පාවිච්චියට ගත හැකි ලෙස නිවසටම එය එක් කළේ එය  ඔවුන්ට මතක සටහනක් ලෙස ඉතිරි කරමින්.

රොෂාන් මහානාම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කිරීමට දායක වෙමින් සිය ජනප්‍රියත්වයේ නිකැලැල් නාමය අදටද රැකගත් රොෂාන් මහානාමයන් ද ආර්යා පදනමේ ආරම්භයේ සිට මේ දක්වා රැදී සිටින පුරෝගාමියෙකි. මේ වන විට විදෙස්ගතව සිටියත් බොස්ටන් ලංකා වෙත ඔහු සිය මේ පිළිබද අදහස් පළ කළේ මෙලෙසිනි.

ආර්යා පදනම ක්‍රියාත්මක වෙන්නේ කිසිදු දේශපාලන අරමුණකින් හෝ දේශපාලන හස්තයකින් නෙවෙයි. මෙහි සාර්ථකත්වය ද එයයි.

ස්වේච්ඡාවෙන් එකට එකතු වූ අවංක මිනිස් කැලකගේ වෙහෙස මහන්සිය වසර 08ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන ඒම පහසු කාර්්‍යයක් නෙවෙයි.

අද රෝහල් ඇදන් මත රෝදපුටු මත තාරුණ්‍යය ගෙවා දමන සෙබළුන් වගේම දෑස් අද සෙබළුන් වෙනුවෙන් ආබාධිත රණවිරු පුස්තකාල ව්‍යාපෘතිය දියත් කිරීම පසුගිය සේවාවන් අතර විශේෂයි.පශ්චාත් යුධ සාහිත්‍යයක් ගොඩ නැගීම සදහා තැබූ ශක්තිමත් පියවරක් ලෙසින් එය හදුන්වන්න පුළුවන්.

අතීතය සහ වර්තමානය සියලු දේ අමතක කරන ශ්‍රී ලාංකික ජාතියට  තමන් වෙනුවෙන් දිවි පුද කළ සෙබළුන් හට කෘතගුණ දැක්වීමේ වගකීම සිහිපත් කරවන ආර්යයන්ගේ සේවය උතුම් ආදර්ශයක්.

BY: Nirosha Piyawadani

බොස්ටන් ලංකා විශේෂ වාර්තාකරු