මේ ගෙවෙන්නේ” ගීතය ලොකු වෙනසක් කරයි කියලා මම හිතනවා – ගායිකා ඉෂානී සන්දනායක

S3

BY: සංඛ රඹුක්වැල්ල

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කාරණය අද වන විට කෙතරම් සත්‍ය දැයි යලි යලිත් ප්‍රශ්න කළ යුතු මට්ටමට පැමිණ ඇත.ඒ මන්ද යත් එකී අදහස මුසාවක් කරමින් විවිධ ක්ෂේත්‍රයන් තුළ එක් අයෙකු එක හා සමාන ලෙස දස්කම් දක්වන්නේ නම් ඇතැම් විට එය ඔහුගේ හෝ ඇයගේ වාසනාව වන්නට පුළුවන.එසේත් නැතිනම් දක්ෂතාවය මත ගොඩනැගුණු වාසනා ගුණයක් වුවද විය හැක.ඉහත දැක් වූ කුමන ආකාරයට හෝ ඇය ක්ෂේත්‍ර කිහිපයක එක හා සමාන ලෙස දස්කම් දක්වයි.නමින් ඈ ඉෂානී සන්දනායක ය.වෘත්තියෙන් බැංකු නිළධාරිණියක වන ඈ ගායිකාවකි.නිවේදිකාවකි. ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකින් ම රසික ඔබ අතරට පැමිණෙන ඈ අද බොස්ටන් ලංකා කතා බහ හා එක් වේ.

කොහොමද ඉෂානී. මොනවද අලුත් තොරතුරු  ?

හොඳයි,හොඳින් ඉන්නවා. ‍රැකියාවේ වැඩකටයුතු එක්ක සංගීතමය වැඩකටයුතුත් සමබරව කරගෙන යනවා ඉතින්

S3S5

කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක් ?

මම දැනට ‍රැකියාව කරන්නේ දෝහා කටාර් වල බැංකුවක.මම ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ වසර අටක පලපුරුද්ද සමගින් තමයි දොහා කටාර් වල බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට එන්නේ.මගේ කුඩා කාලය ගැන කතා කලොත් මම පාසල් යන කාලයේ ඉඳලා තමයි සංගීතයට යොමු වෙන්නේ. පස්සේ මම සංගීතය මාලනී බුලත්සිංහල මහත්මියගෙන් ඉගෙනගන්නවා.උසස් පෙල විභාගයෙන් පස්සේ බැංකු ක්ෂේත්‍රයේ ‍රැකියාවට යොමුවෙන නිසා සංගීතය ඉගෙන ගැනීම සහ සංගීත කටයුතු වල නියැලීම මගෙන් මග හැරෙනවා.‍රැකියාවේ තියෙන කාර්යබහුල බවත් එක්කම.

ඔබ කොහොමද නැවත ආයෙමත් සංගීත ක්ෂේත්‍රයට යොමුවෙන්නේ ?

ඔව් මම දෙදාස් දොළහේ තමයි කටාර් වලට එන්නේ.කටාර් වලදි ‍රැකියාවේ කටයුතු හවස තුන වෙනකොට ඉවර වෙනවා.දැඩි කාර්යබහුල බවකින් මම මිදෙනවා ඒ නිසා.ඒ එක්කම පුහුණුවීම් පටන්ගෙන නැවතත් සංගීතයට යොමු වෙනවා. එහෙම යොමුවෙන්න තවත් එක හේතුවක් තමයි කටාර් වල ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන විවිධ ප්‍රසංග වල නිවේදන කටයුතු වලට සහ ගීත ගායනා කටයුතු වලට දායක වෙන්න ලැබීම.ඉතින් මේ හැමදේමකම ප්‍රතිපලයක් විදිහට මම මගේම කියලා ගීත පහක් නිකුත් කිරීම දක්වා ඉස්සරහට එනවා.

S1 S2

ඔබ කෙරුව අලුත් ගීත ගැන කීවොත් ?

ගිය අවුරුද්දේ තමයි මම මගේ මුල්ම ගීත කිහිපය කරන්නේ.ඒ ගීත කිහිපයෙන් එක් ගීතයක් සංගීත වීඩියෝවක් එක්කයි කළේ.ලංකාවේ රූපවාහිනී නාලිකා කිහිපයකම ඒක විකාශනය වුණා.ඒ වගේම මම අදහසක් තිබුණා මම කරන හැම නිර්මාණයක්ම ලංකාවේ සිටින ප්‍රවීණ සහ දක්ෂතම සංගීත අධ්‍යක්ෂකවරුන් හා ගී පද රචකයන් අතින් නිර්මාණය කරගන්නවා කියන එක. ඒ අදහස එක්ක මම මුලින්ම ගීතයක් කරන්න හිටියේ අරුණ ගුණවර්ධන මහත්මයා එක්ක.ඒ ගීතයේ පද රචකයා වුණේ මගේ ආදරණීය සැමියා.ඒ ගීතය කරන්න ටිකක් පමා වුණා.ඒ අතරේ මගේ සැමිය ම පද රචනය කරපු  මේ හේතුව කියන ගීතය තමයි මම මුලින්ම නිර්මාණය කරපු ගීතය.එම ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරයා වුණේ දර්ශන වික්‍රමතුන්ග මහත්මයා.ඊට පස්සේ කැලුම් ශ්‍රීමාල් මහත්මයාගේ පද රචනයකට උදාර සමරවීර මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු  ඔබට මා මෙන් කියන ගීතය නිර්මාණය කරනවා.ඒක තමයි මගේ පළවෙනි මියුසික් වීඩියෝ එක වෙන්නෙත්.ඊට අමතරව කීර්ති පැස්කුවෙල් මහත්මයා එක්ක යුග ගායනයක් කරන්න මම වාසනාවන්ත වෙනවා.ඒ ගීතයේ පද රචනය කරන්න බන්දුල නානායක්කාරවසම් මහත්මයා.ඒ වගේම එහි සංගීත අධ්‍යක්ෂණය කළේ දර්ශන වික්‍රමතුංග මහත්මයා.ඊට අමතරව නයනසේන වන්නිනායක මහතා ලීව රෝහණ වීරසිංහ මහතා සංගීත අධ්‍යක්ෂණය කරපු ගීත “මේ ගෙවෙන්නේ” කියන ගීතයත් වෙනස් ආරක ගීතයක්.ඊට අමතරව දර්ශන රුවන් දිසානායක මහතා සහ සමන්ත පෙරේරා මහතා සමඟ කළ ගීත කිහිපයකුත් සහ රාජ්‍ය සම්මානලාභී අසංක රුවන් සාගර මහත්මයා ලීව පද රචනයක් ඇතුළුව නව ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න නියමිතයි.

මේ දේවල් වලට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

ඇත්තටම ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා.මගේ ස්වාමියා වන මංජුල සන්දනායක ඉතා දක්ෂ ගී පද රචකයෙක්.කාර්ය බහුලත්වයත් එක්ක ඔහුට ගී පද රචනයේ යෙදෙන්න අවස්ථාවක් නොලැබුණත් ඔහු ඉතා සුන්දර සංකල්පනා ගොඩ නගන්නෙක්.ඉතින් අපි දෙන්නම ගමන් කරන්නේ එකම පාරක නිසා ඒ ගමන හරිම පහසුයි.මේ හැමදේකම ශක්තිය වෙන්නේ ඔහුයි.

S7

ලංකාවට නැවත පැමිණීමේ අදහසකින් ද ඔබ මේ වනවිට පසුවන්නේ ?

ලංකාවට නැවත පැමිණේවි දවසක.ඒත් ඒක ළඟදි වෙයිද කියන්න බැහැ.සමහරවිට තව අවුරුදු දෙක තුනකින් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.ඒත් මම මෙහෙ ඉඳලා කරන කලා වැඩ කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් කරගෙන යනවා.ඊට අමතරව අපි කටාර් වල සංගීත ප්‍රසංග සංවිධානය කරනවා අපිම බිහිකරගත්ත කලා කවයකින්.එකේ නම සිසාරා ආර්ට් සර්කල්.ඉතින් ඒ වගේ වැඩ කටයුතු අපි කොහේ හිටියත් කලාව වෙනුවෙන් ඉ‍ටු කරයි.

විශේෂයෙන් ස්තූති කළ යුතු අය ඉන්නවද ?

විශේෂයෙන් ස්තූතිකරන්න ඕන අය බොහෝමයක් ඉන්නවා.මගේ අම්මා,මගේ පාසල ගමිපහ සිරිකුරුස විද්‍යාලය ගුරුවරුන්,මගේ ස්වාමි පුරුෂයා.ඒ වගේම දොහා වල ජානක සමරගුණරත්න,බාචි,ප්‍රවීන්,ගයාන් රුක්ෂාන්,කුමුදු ෆොන්සේකා,පැන්ටලීන් පෙරේරා,මන්ජුල ජයවර්ධන. ඒවගේම ලංකාවේ අරුණ ගුණවර්ධන,කීර්ති පැස්කුවෙල්,අසංක රුවන් සාගර ,තරංගී අතුරුලිය,සුරනිමල ජිනේන්ද්‍රසිංහ,තිසංක හේවාවැල්ලල,දර්ශන වික්‍රමතුංග,උදාර සමරවීර,රයන් උද්දික,යසරත් කමල්සිරි වගේම අබුඩාබි වල නයනසේන වන්නිනායක මහත්මයාවත්  ඉතාලියේ හෂාන් ජයවර්ධනවත් මතක් කරන්න ඕන