අජන්ත සෙනෙවිරත්න

ajantha 2

අජන්ත සෙනෙවිරත්න යනු ක්ෂේත‍්‍ර කිහිපයක පැතිරුණු දක්‍ෂතා ඇති අයෙකි. ග‍්‍රන්ථකරණයෙහිලා සුවිශේෂී දක්‍ෂතා ප‍්‍රකට කල ඔහු “මම අවංකයි”“දුහුලූ සිත්”“අපි අපිම”“රිදී හුය බින්දා”“සිත මම සහ නොමියෙන මම” , “දැක නොදුටු පෙරනිමිති”“අකාල පේ‍්‍රම”වැනි ග‍්‍රන්ථ රැසක් රචනා කළේය. ඔහුගේ මෑතකාලීනව පාඨකයන් අතට පත් නවකතාව වන්නේ “රාහුලයෙක් උපන්නා”ය.

අප දන්නා ඔබ අවිවේකීරාකාරී බහුල කෙනෙක්. වගකීම් සහගත තනතුරක් දරන්නෙක්. මේ කාර්යයන් මැද ලේඛනයට විවේකය හොයාගන්නේ කොහොමද?

කෙතරම් කාර්ය බහුල වුනත් අපි අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය දේවල් කරන්න කාලය වෙන්කරගන්නවා නේදඅන්න ඒ වගේ තමයි මමත්. මගෙයි අනෙක් අයගෙයි අතර වෙනස වෙන්නේ ලිවීම මගේ ජිවිතයේ අත්‍යවශ්‍ය අංගයක් නැත්නං කොටසක් බවට පත්වීම විතරයි.

ලේඛනය ඔබේ දිවියේ කොටසක් බවට පත්වුනේ කොහොමද?

මුලින්ම මම මට දැනෙන දේ ලිවීමෙන් ලැබුණු උත්තේජනයක් ලැබුව. ඒ සමගම මට මගේ ලිවීම් සම්බන්ධව විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්න පටන්ගත්තා. ඉන්පසුව මම නිරන්තරව ලිවීමේ කාර්යයේ නිරතවුනා. අද වෙනකොට මට නිරායාසයෙන් ලියැවීමේ තැනට පත්වී තියෙනවා. ලේඛනය ආරම්භ කරන කාලෙ යමක් ලිවීමට මනස සකසාගැනීමටත් වශාල කාලයක් ගතවුනා. නමුත් දැන් ඉතාම කෙටි කාලයකින් ඒ සදහා මනස සකසාගැනීමට හැකියාව ලැබී තියෙනවා. මේ සියල්ලම නිරන්තර ලේඛනය තුළින් ගොඩනගාගත් දේවල්.

ajantha

නිර්මාණ කරනයේදී ඔබ බෟද්ධ තේමා කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බව ඇතමුන් සඳහන් කර තිබෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

මම විවිධ විෂයන් කේන්ද්‍ර කරගනිමින් ග‍්‍රන්ථ රචනා කර තිබෙනවා. නමුත් මේ සෑම ක්‍ෂේත‍්‍රයකමසෑම විෂයකම පදනම වෙත ගමන් කිරීමේදී එහි බුද්ධ දර්ශණයේ අන්තර්ගත යම් යම් කොටස් නිරාවරණය වීමක් සිදුවෙනවා. බෞද්ධයෙක් විදියට සහ ඒ ආශ‍්‍රිත සංස්කෘතියක ජිවත් වන මට මේ දේවල් විශේෂයෙන් ග‍්‍රහණය වීම සුබල දෙයක්. කෙනෙකුට මේක බුදු දහම කියල හඳුන්වන්න පුළුවන්. නමුත් මම නිරන්තරව උත්සහ කරන්නේ එහි සැබෑ ස්වරූපය ප‍්‍රතිනිර්මාණය කිරීමට.

ඔබේ මෑතකදී කළ නිර්මාණය සඳහා ‍බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත රාහුල චරිතය යොදාගැනීමට පෙළඹීට විශේෂ හේතුවක් තියෙනවාද?

බුද්ධ චරිතය සොයා යන්නෙකුට රාහුල කියන චරිතය ඉතාම වැදගත් චරිතයක් බව මට වැටහුනා. බෝධිසත්වයන් බුද්ධත්වය කරා යන ගමනේදී එයට සහය ලබාදුන් අය අතර රාහුල චරිතයටත් ප‍්‍රධාන ස්ථානයක් හිමිවෙනවා. සිදුහත් කුමාරයාට ගිහිගෙයින් නික්මීමට එක් නිමිත්තක් වන්නේද රාහුල කුමරුන්ගේ උත්පත්තියයි. මීට අමතරව ත‍්‍රිපිටකය අධ්‍යනය කිරීමේදී බුදුහාමුදුරුවන් රාහුල හිමියන්ට දේශනා කල සූත‍්‍ර කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මේ සූත‍්‍ර කීපය අධ්‍යනය කිරීමෙන් අපට අනිත්‍ය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා. මේ පිළිබ`දව දීර්ඝ අධ්‍යනය කිරීමකින් පසුව තමයි රාහුල චරිතය කේන්ද්‍ර කරගනිමින් රාහුලයෙක් උපන්නා’ කියන නවකතාව රචනා කිරීමට යොමුවුනේ.

BTI23273_fmt

එතකොටම ඔබ මේ චරිතය ආශ‍්‍රයෙන් මෙම නවකතාව නිර්මාණය කිරීමට යොමුවන්නේ එම චරිතයේ ඇති ධර්මානුකූළ වැදගත්කම හේතුවෙන්ද?

මේක එක හේතුවක් පමණයි. රාහුල චරිතය ගත්තොත් ඔහු කවුදබුදුරජාණන් වහන්සේගේ ගිහි කළ පුත‍්‍රයා. ඉන්පසුව බදුරජාණන් වහන්සේගේ ශාසනයේ සාමනේර නමක් බවට පත්වෙනවා. තමන්ගේ පියාගේ සසුනේ. ශාසනයට ඇතුළත් වෙන්නේ අවුරුදු හතේදී. නමුත් වයස අවුරුදු දහ අට වෙනකලූත් රහත් බව ලබනේනේ නැහැ. මොකද්ද ඒකට හේතුව. උන්වහන්සේ තමන්ගේ රූපයට අධික ලෙස ඇ`ඵම් කිරීම. අද ජිවත්වන සාමාන්‍ය තරුණයෙකුගේම පැවැත්ම සහ සිතුවිලි නොවේද. මේ බව අවබෝධ කරගත් බුදුන් වහන්සේ නව යොවුන් වියේ සිටි තරුණ භික්‍ෂුවගේ ජිවිතයට අරමුණක් ලබාදෙනවා. එම අරමුණ කරා ළඟාවීමට කමටහන් නැත්නම් උපදෙස් ලබාදෙනවා. ඒ ඔස්සේ ගමන් කරන තරුණයා තමන්ගේ ජීවිතය ජයග‍්‍රහණය කරා ගෙනයනවා.

මේ රාහුල හාමුදුරුවන්ගේ චරිතය වර්තමානයේ අපේ සමාජයේ සිටින තරුණයාගේ චර්යා සහ සිතුම් පැතුම් නොවේද. වැඩිහිටියන් විදියට අපි ඔවුන් නිවැරදි සමාජයට වැඩදායී පුද්ගලයින් ලෙස නිර්මාණය කරගැනීමට නම් අප පළමුවෙන්ම ඔවුන් හ`දුනාගැනීම අත්‍යවශ්‍ය නොවන්නේද. බුදුරජාණන් වහන්සේද රාහුල හාමුදුරුවන්ගේ නියම කල පැමිණෙන තෙක් හිටියෙ නියම මාර්ගයට යොමුකරවීමට. වැඩිහිටියන් විදියටත්දෙමාපියන් විදියටත් අපි කිසිදු වෙලාව හැඟීමෙන් නොව බුද්ධිමත් ලෙස දරුවන් සම්බන්ධ කාර්යයන් හි නිරතවීමේ වැදගත්කම බදුහාමුදුරුවන්ගේ චරිතය තුළින් ප‍්‍රතිනිර්මාණය වෙනවා. මේ ආකාරයට දරුවන් නිවැරදි ලෙස අවබෝධ කර නොගැනීම හේතුවෙන් ඇතිවූ ඛේදනීය තත්ත්ව අපට  ඕනෑතරම් අසන්නට දකින්නට ලැබී තියෙනවා. ඉදිරියේදීද අසන්නට දකින්නටත් ලැබේවි. නමුත් මේ පිළිබ`දව අවබෝධයකින් මේ තත්ත්වයන් අවම කරගැනීමේ හැකියාවක්ද පවතිනවා.

මෙම කෘතිය මගින් ඔබ අතීත චරිත මත පිහිටා වත්මන් සමාජයට කිසියම් සමාජමය පණිවිඩයක් ලබාදීමකද නිරතවෙනවා.

නිර්මාණ කරුවන්ගේ කාර්යභාරය සෘජුව දෙයක් පැවසීම නොව පාඨකයාට එය හැඟීයාමට සැළැස්වීමයි. මෙම කෘතිය තුළදී මම මේ සෑම චරිතයක් කෙරෙහිම විවෘත මනසින් බලා එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමකට යොමු වුනා. එතනදි මම මේ කිසිදු චරිතයකට හානි නොවන ආකාරයෙන් එම චරිත ප‍්‍රති නිර්මාණය කිරීමට යොමුවුනා. රාහුල හිමියන්ගේ චරිතය හා සම්බන්ධ සිදුවීම් බුද්ධ සාහිත්‍ය ඉතිහාසයේ වරළ බැවින් නිර්මාණ කරුවකු විදියට මගේ පරිකල්පනය යොදවමින් සමකාලීන බුද්ධකාලීන සමාජයේ සිදුවූ විවිධ සිදුවීම්ද ආශ‍්‍රය කරගනිමින් ප‍්‍රති නිර්මාණ කාර්යකද නිරතවුනා. සත්‍ය සිදුවීම් මත පදනම්ව මේ ප‍්‍රතිනිර්මාණ කාර්යය කිරීමට සිදුවීම ඇත්තටම දුෂ්කර කාර්යයක් වුවත් මේ නිර්මාණය තුළින් එය සාර්ථක අයුරින් ජයගැනීමට හැකිවුනා යන විශ්වාසය සහ සතුට මා තුළ පවතිනව.

බෞද්ධ ශාසන ඉතිහාසය තුළ මෙතරම් වැදගත් චරිතයක් ආශ‍්‍රය කරගනිමින් නිර්මාණයක් කිරීමට බොහෝ අය නෙපෙළමුනත් එබ එම කාර්යයට යොමුවුනා. ඔබට පෙර ලේඛන කාර්යයේ නිරතවූවන් මේ කාර්යයට අත නොගැසීමට හේතුව පිළිබ`ද කිසියම් අදහසක් තියෙනවාද?

මට හිතෙන්නේ කිසිම කෙනෙක් රාහුල කියන චරිතය නිවැරදි ලෙස දුටුවේ නැහැ. මොකද ශාසන ඉතිහාසයේ ස්ථාන කිහිපයක පමණයි රාහුල හාමුදුරුවන් ගැන සඳහන් වෙන්නේ. ඒත් සීමා සහිතව.අනෙක් කරුණ තමයි තරුණ වයසේදී උන්වහන්සේ පිරිණිවන් පානවා. රාහුල හිමියන් ගැන දැනගැනීමට ඇති එකම ක‍්‍රමය උන් වහන්සේ අරඹයා දේශනා කළ සූත‍්‍ර පමණයි. ඇතැම් විට මේ සූත‍්‍ර වෙත අවධානය යොමු නොකිරීමත් මෙම චරිතයට අවධානය යොමු නොවිමට හේතුවක් වන්නට ඇති.

අවසාන වශයෙන් ඔබගේ ලිවීම අවසාන බලාපොරොත්තුව කුමක්ද?

මගේ ලේඛනයේ අරමුණ මා සතු දැනුම සහ අත්දැකීම් අනෙක් අය සම`ග බෙදාගැනීමයි. එයින මම අසීමිත තෘප්තියක් ලබනවා. ඒ වගේම මම දැඩිව බෞද්ධ දර්ශණය වශ්වාස කරන කෙනෙක්. එම සංස්කෘතියෙන්සභ්‍යත්වයෙන් පෝෂණය වූ කෙනෙක්. මගේ නිර්මාණ කරනය තුළ මේ කිසිදු සීමාවක් උල්ලංගනය කිරීමට යොමුවන්නේ නැහැ. කිසිදු පාර්ශවයක් සම`ග ගැටුම් ඇති නොකරගෙන මගෙන් විය යුතු යුතුකම් සහ වගකීම් ඉෂ්ට කරමින් මගේ පුද්ගල විමුක්තිය ස`දහා මාර්ගය විවර කරගැනීමේ තවත් එක වෑයමක් විදියට මගේ ලේඛනය හඳුන්වන්න පුළුවන්.