කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

book exhibition
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (15) විවෘත කෙරුණි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ප්‍රදර්ශනය අද සිට ලබන 24 වන දින දක්වා පැවැත්විමට නියමිතයි.
පොත් ප්‍රදර්ශනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ලෝකයේ විවිධ විෂයන් විවිධ කාර්යන් ගැන වාර්ෂික ප්‍රදර්ශනයන් පවත්වන නමුත් පොත් ප්‍රදර්ශනයක් ඊට වඩා බොහෝ වෙනස් කාර්යයක් බවයි.
කියවන් නැති මිනිසුන් යකඩ වගේ බවත් කියවන මිනිසුන් තුළින් යහපත් හා සම්පුර්ණ සමාජයක් බිහිවන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
අතීතයේ විදේශ ආක්‍රමණයන්ට ලක්වු විටත් රට ජාතිය වෙනුවෙන් සාහිත්‍යධරයින් හා ලේඛකයින් දේශාභිමානි ආකල්ප වර්ධනයට සමත් වූ බවත් පැවසු ජනාධිපතිවරයා රජයක් වශයෙන් දරුවන් තුළ මුලික වශයෙන් කියවීම පිළිබඳ ආකල්ප වර්ධනය සඳහා මුලිකත්වය ලබා දී ඇති බව ද පැවසීය.
ඒ අනුව විශේෂ වැඩසටහන් රැසක් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.