දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම අද

Corruption 2

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීම අද (06) දිනය තුළ බොහෝ දුරට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

අදාළ කොමිසමේ නිල කාලය පසුගිය තුන් වන දිනෙන් අවසන් වු අතර  ඒ සඳහා තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙස කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කළේ කොමිසමේ නිල කාලය අවසන් වුව ද තවමත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි.

පසුගිය රජය සමයේ සිදුවු වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබීය.

එම කොමිසමට පැමිණිලි 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඉන් බරපතළ ගණයේ පැමිණි විමර්ශනය සඳහා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් විමර්ශන කටයුතු අවසන් කර පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු වාර්තා ජනාධිපිතවරයා වෙත බාර දී ඇති බව එච්.ඩබ්ලිව්.ගුණදාස මහතා සඳහන් කරයි.

තවත් පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු විමර්ශන අවසන් කර ඇති අතර එම විමර්ශනවල වාර්තා මේ වන විට  සකස් කරමින් සිටින බව බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

ඊට අමතරව තවත් පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතියි.

එම පැමිණිලි විභාග කිරීමට සහ විමර්ශනය කරන ලද පැමිණිලිවල වාර්තා සකස් කර අවසන් කිරීම සඳහා තවත් මාස 6ක කාලයක් සඳහා කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා අද දිනය තුළ බොහෝ දුරට අනුමැතිය හිමිවනු ඇති බව වාර්තා වෙයි.