යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් තානාපති කාර්්‍යාල ලැයිස්තුවල

Jagath Jayasuriya

ශ්‍රී ලංකා යුද හමුදාවේ අණ දෙන නිලධාරීන්ගේ නම් ගම් විවිධ තානාපති කාර්යාලයන්හි ලැයිස්තුගත කරනු ලැබ ඇති අතර ඔවුන්ට එම රටවල සංචාර සඳහා වීසා ලබාගැනීමේදී දුෂ්කරතා මතුවී ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

බ්‍රසීලයේ තානාපති පදවිහි සිය දෑවුරුදු නිල කාලය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජනරාල් ජයසූරිය එම ප්‍රකාශය කළේ, යුද අපරාධ චෝදනා යටතේ බ්‍රසීලයේ අධිකරණයක ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමකදීය.

“අපේ නම්ගම් පුවත්පත්වල පළ වෙනවා. බොහෝ තානාපති කාර්යාල වල යුද අණදෙන නිලධාරීන්ගේ නම් ලැයිස්තුගත කරලා තියෙනවා. ඒ නිලධාරීන් පිටරටකට වීසා ලබා ගන්න ගියාම කියනවා ඔවුන් නීතිය කඩ කරපු බවක්. උදාහරණයක් හැටියට මගේ පෞද්ගලික උවමනාවකට ඇමෙරිකාවට යන්න වීසා ඉල්ලුවත් මට වීසා දුන්නේ නැහැ. ඒක නිල ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. නමුත් ඔවුන් වීසා නොදීමට හේතු පැහැදිලි කරන්නේ නැහැ. මම දන්නවා ඒ ගොල්ලන් ළඟ අපේ නම් ගම් තොරතුරු තියෙන බව. ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳන්න ඕන” ජනරාල් ජයසූරිය කියා සිටී.

බීබීසී කොළඹ වාර්තාකරු දුරකතනය මගින් කරන ලද එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනරාල් ජගත් ජයසූරිය “යුද්ධයේ දී තමාට ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ” බව සඳහන් කළේය.

කොටි සංවිධානයට එරෙහිව ගෙන ගිය සටනට අණදෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වන අතර එම මෙහෙයුම් සඳහා සියලු අණදීම් කරන ලද්දේ තමා බව ෆීල්ඩ් මාර්ෂල්වරයා විසින් ඍජු ලෙසම භාර ගනු ලැබ ඇති බව ජනරාල් ජගත් ජයසූරිය පවසයි.

“අපි කවුරුත් දන්නවා-යුද මෙහෙයුමට අණ දුන්නේ එවක හමුදාපති පදවියේ සිටි, දැන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බව. එතුමා කෙළින්ම කියල තියෙනවා- යුද මෙහෙයුම් වලට අණ දුන්නේ තමා බව. මට පැවරුණේ යුද හමුදාවට අවශ්‍ය සැපයුම්වලට (logistical support) අදාළ කාර්යයි. මම එහි නිරත වෙමින් සිටියා ” ජනරාල් ජයසූරිය පවසයි.

බ්‍රසීලයේ සහ කොලොම්බියාහි පවරා ඇති නඩුකර පිළිබඳව බීබීසි විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් ජනරාල් ජයසූරිය, වධ හිංසා සිදු කිරීම් පිළිබඳව තමාට එරෙහිව නැගෙන චෝදනා පිළිබඳව අන්තර්ජාල වෙබ් අඩවි මගින් කියවන්නට ලැබුණ බව සඳහන් කළේය.