මම ඉල්ලා අස්වෙන්නෙ මොකටද ? – තිලංග සුමතිපාල

Thilanga Sumathipala

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇද වැටී ඇති අගාධයේ වගකීම බාර ගනිමින් තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරතාව දිනා ගැනීමට මෙහෙයවූ  අර්ජුන රණතුංග මහතා කළ ප්‍රකාශයට සුමතිපාල මහතා මෙම ප්‍රතිචාරය දක්වා ඇත.

” ඉල්ලා අස්වෙන්න කිසිම හේතුවක් නෑ. ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසයයට කිසිසේත්ම පරිපාලනය වග කිවයුතු නෑ”. සුමතිපාල මහතා පැවසුවේය.

වත්මන් රජයේ කණිජතෙල් අමාත්‍යවරයා වන අර්ජුව රණතුංග මහතා 28 වැනදා මාධ්‍ය හමුවක් අමතමින්  ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත තමන් ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවයි.

සුමතිපාල පරිපාලනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුව පත් කර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීමට ඊට පවරන ලෙසද  රණතුංග මහතා ඉල්ලා ඇත.

සංචාරක ඉන්දීය පිල සමග පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන් විත එක් දින තරගාවලියද මේ වන විට 3-0 ලෙස පරාජයට පත වී ඇත. යම් හෙයකින් ඉදිරි තරග දෙකද ඔවුන් පරාජය වුව හොත් 2019 දී එලෙඹෙන ලෝක කුසලානයට තරග කිරීමට නම් එංගලන්තයේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයට මූණ දීමට සිදු වනු ඇත.

වත්මන් පාර්ලිමේන්තුවේ නියේජ්‍ය කතානායක වරයා වන තිලංග සුමතිපාල මහතා 2016 වසරේදී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට පත් විය.

රටේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට තම පරිපාලනය දිර්ඝ කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති නමුත් එහි ප්‍රතිපල ලැබීමට වසර 3-4ක් ගත විය හැකි බව සුමති පාල මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.