ඉල්ලා අස්වන්නේ සිය හදවතේ තෙරපෙන දැඩි වේදනාවෙන්

Sanath-Jayasuriya

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ සිය හදවතේ තෙරපෙන දැඩි වේදනාවක් ද සහිතව බව පදවියෙන් ඉවත්ව යන සනත් ජයසූරිය පවසයි.

සියලුම අංශවලින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයෙකු, කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ වර්තමානයේ තේරීම් කමිටු සභාපතිවරයා ද වන තමාට සහෝදර කමිටු සාමාජිකයන් ද සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹීමට ආසන්නතම හේතුව වූයේ පසුගිය ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම බව ද සනත් ජයසූරිය සඳහන් කරයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් 07 වෙනි දින සිට තමන් ඇතුළු කමිටුව ඉල්ලා අස්වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වෙත ලිපියක් යවමින් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා සඳහන් කරයි.

“ක්‍රිකට් යනු සෑම කල්හිම මගේ ජීවිතය වන බැවින්, අපේ ක්‍රීඩාලෝලීන් අපේ ක්‍රීඩකයන්ට පහර දෙනු දකින්නට ලැබීම අතිශය වේදනාකාරීය,” යනුවෙන් ද එම ලිපියේ සඳහන් වේ.

පසුගිය වසර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේක්ෂා බිඳ වැටුණු කාලයක් බව පිළිගන්නා සනත් ජයසූරිය,කෙසේ නමුත් එයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 3-0 ක් වශයෙන් පරාජය කළ බවත් සිහිපත් කරයි.

මේ මොහොතේ බිඳවැටීමක් තිබෙන නමුත් ඉතා දක්ෂ ක්‍රීඩකයන් සිටින ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදීම යළිත් වරක් සුපුරුදු දක්ෂතා අතරට එනු ඇතැයි බලාපොරොත්තු පළ කරන තේරීම් කමිටු සභාපතිවරයා, අවශ්‍ය වුවහොත් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් අනාගතයේදී ද සිය සේවය සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

“කඳුළු අතරින් වුවත් අපේ හිස කෙලින් තබාගෙන සමුගන්නා,” බව පවසන සනත් ජයසූරිය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කෙරෙහි දිගටම විශ්වාසය තබන මෙන් ක්‍රීඩාලෝලීන්ගර්න් විශේෂ ඉල්ලීමක් ද කරයි.