දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ඉදිරියේදී දැඩි තීරණ ගන්නවා – පා.ම ශිවාජිලිංගම්

Sivajilingam-01

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට උතුරු පළාත් සභා ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුළු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් කටයුතු කරන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම්  මහතා පවසයි.

යාපනය ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී ශිවාජිලිංගම් මහතා එලෙස පැවසුවේය.

ශිවාජිලිංගම් මහතා එහිදී පැවසූවේ දෙමළ දේශාපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රජයේ ප‍්‍රධානීන් හමුවී සාකච්ජා පැවැත්වුවද, ලිපි මඟින් ඉල්ලීම් කළද, උපවාස පැවැත්වුවද අදාළ ගැටළු වෙනුවෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා උතුරු නැගෙනහිර පළාත් තුළ දින 200 ට ආසන්න කාලයක් උපවාස පැවැත්වීමට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කටයුතු කළද අදාළ ඉල්ලීම් වෙනුවෙන් ආණ්ඩුව අවධානයක් යොමු නොකරන බවද හෙතෙම පැවසුවේය.

එබැවින් දැඩි දේශපාලන තීන්දු හා ක‍්‍රියාමාර්ග තුළින් දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබා ගැනීමට දෙමළ දේශපාලන නියෝජිතයින් එක්විය යුතු බව ශිවාජිලිංගම් මහතා සඳහන් කළේය.