රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගගේ ඉල්ලීම් ඉවතට

Udayanga

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර ඇති වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙස සහ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොටුව  මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උදයංග වීරතුංග මහතාගේ නීතිඥවරුන් විසින් එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබූණි.

එම ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පවසා ඇත්තේ සැකකරුට එරෙහිව එල්ල වී ඇත්තේ වරෙන්තු නියෝගයක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි චෝදනා බවයි.

සැකකාර උදයංග වීරතුංග මහතා කළ යුත්තේ විදෙස් ගමන් තහනම හෝ වරෙන්තු නියෝග ආපසු කැඳවන මෙන් අධිකරණයෙන් ඉල්ලීම නොව අධිකරණයට හෝ ළඟම ඇති පොලීසියට බාරවීම බව අතිරේක මහේස්ත්‍රාත්වරිය  එහිදී පෙන්වා දී තිබේ.

2007, 2008 වසර වලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන පරීක්ෂණයේ සැකකරුවෙකු ලෙස උදයංග වීරතුංග මහතා නම් කර ඇති බැවින් ඔහු  අත්අඩංගුවට ගැනීමට අධිකරණය මීට පෙර අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.