ආණ්ඩුවේ අලුත්ම ගොදුරු ගැන ගම්මන්පිල කියයි

Udaya-Gammanpila
වත්මන් ආණ්ඩුව සිය නවතම ගොදුර බවට පත්කරගෙන ඇත්තේ කටුනායක, දක්ෂිණ සහ කොළඹ අධිවේගී මාර්ගයන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අධිවේගි මාර්ග තුනම අධිකාරියකට පවරා ගැනීම හරහා ඩොලර් මිලියන 600කට චීනයේ ෂැංඩොංග් කියන සමාගමට විකිණීමට සියල්ල සූදානම් කර ඇති බව ද ඔහු කියා සිටියේය.
විකිණීමක් සිදු නොකරන බව පවසමින් වසර 35කට බදු දෙන බව පැවසුව ද වසර දහයකට වඩා බදු දෙන්නේ නම් එය විකුණුමකට සමාන බවට තක්සේරු කිරීමේ දී සලකන බව ද ගම්මන්පිල මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ සතියේ ඇමති මණ්ඩල රැස්වීමට මේ පිළිබඳ ඇමති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු කියා සිටියේය.
මෙලෙස සියල්ල විකුණා දමමින් ගියහොත් අවසානයේ රටට ඉතිරි වන දෙයක් නොමැති බවත් ඉතිරිවන්නේ අහිංසක ජනතාව පමණක් බවත් ගම්මන්පිල මහතා පැවසීය.
එවැනි දිනක් උදා වෙන තුරු බලා නොසිට මේ විකිණීමට එරෙහිව පාරට බහින ලෙස රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.