විජේදාසට විශ්වාසභංගයක් ගෙන ආවත් රට වෙනුවෙන් ඇමතිකම පරදුවට තැබීම අගේ කරනවා – ගම්මන්පිල

Udaya-Gammanpila
විජේදාස රාජපක්ෂ මහතාට ගෙන එන විශ්වාසභංගයේ අඩංගු නැති එහෙත් විශ්වාසභංගයක් ගෙන ඒමට තුඩුදුන් හේතු 4ක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධය සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් පවසන තොරතුරු වැරදි බව පැවසීම, ආණ්ඩුව ආරක්ෂක අංශ ලවා ලංකාවේ අයිසිස් ත්‍රස්තවාදින් නැති බව පවසන විට පාර්ලිමේන්තුව අමතමින් ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක බවත් අයිසිස් ත්‍රස්තවාදින් 11ක් දැනට සටන් වදින බවට තොරතුරු තිබෙන බවටත් පාර්ලිමේන්තුවේ දී පැවසීම,මුස්ලිම් අන්තවාදින් සහ දෙමළ බෙදුම්වාදින් උතුරු නැගෙනහිර සිදු කරන පුරා වස්තු විනාශය පිළිබඳ සාකච්ඡා කිරීමට බෞද්ධ සංවිධාන සමඟ ගොස් ජනාධිපති හමුවීම හා ශ්‍රී ලංකාව සතු වටිනාම සම්පත වන හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම වත්මන් ආණ්ඩුව කල බලවත් වරදක් බවත් ඉන් රටට සිදු වුයේ දැවැන්ත හානියක් බවටත් හඬක් නැගීම යන කරුණු ඔහු පෙන්වා දෙයි.
අද(14) පැවති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා රට වෙනුවෙන් සිය අමාත්‍යධූරය පරදුවට තබා කටයුතු කිරීම අගය කර සිටින බවත් එය පක්ෂ භේදයකින් තොරව අගය කරන බවත් ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
විජේදාස මහතා නගන්නේ ඒකාබද්ධයේ හඩ නොවන බවත් එය ගම්වල සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හඬ වන බවත් පැවසු ගම්මන්පිල මහතා රටට ආදරය කරන එක්සත් ජාතික පාක්ෂිකයින් කළ යුත්තේ විජේදාස රාජපක්ෂ මහතාට සහය පළ කිරීම බව ද මෙහිදී අවධාරණය කර සිටියේය.