ඉස්සර යුද්ධයක් තිබුණද කියලවත් අද සමහරුන්ට මතක නෑ – සුමේධා ජී ජයසේන

Sumedha Jayasena
අතීතයේ යුද්ධයක් තිබුණේ ද නැද්ද යන්න පවා අද වන විට සමහරුන්ට අමතක වී ඇති අතර එය කණගාටුවට කරුණක් බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.
වසර 30කට වඩා මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය 2009 වසරේ මුළුමනින්ම පරාජය කිරීමට හැකිවූ බවත් ඒ සඳහා දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය හැමදාමත් හිමිවිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
ජාතික සත්ව උද්‍යානයට අයත් සිංහ පැටවෙකු සිංහ රෙජිමේන්තුවට බාරදීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් සිංහ පැටවා සිංහ රෙජිමේන්තුවේ ප්‍රධානී මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතාට දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ දී පසුගියදා බාර දෙන ලදී.
2009 වසරට පෙර රටේ ජනතාව ත්‍රස්තවාදය හේතුවෙන් බොහෝ පීඩා වින්ද බවත් අද වන විට බියක් නොමැතිව ජීවත් වීමට ඉඩ සැලසී ඇත්තේ රණවිරුවන් එදා කළ කැපවීම නිසා බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසීය.