ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්

faizer-mustapha
පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි චමින්ද විජේසිරි මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදි පැවසීය.
 
පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහතාගෙන් විමසන ප‍්‍රශ්න වලට පිළිතුරු ලබාදීමේදී දක්නට ලැබෙන මන්දගාමී ස්වරූපය හේතුවෙන් ඇමතිවරයා පිළිබඳව විශ්වාසය කඩව ඇති බැවින් මෙලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සිදුවන බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ඌව පළාත් සභාව සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම විෂය භාර ඇමතිවරයාගෙන් ප‍්‍රශ්න විමසීම් සිදුකළත් ඒවා වෙනුවෙන් පිළිතුරු ලැබෙන්නේ ඉතා අඩුවෙන් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ගෙන එ්මට අපේක්ෂිත විශ්වාස භංග යෝජනාවට අනෙකුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහය ලැබේ යැයි තමන් විශ්වාස කරන බවත් එ් මහතා පැවසිය.
 
මේ අවස්ථාවේදී මන්තී‍්‍රවරයා විසින් යොමුකර ඇති ප‍්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පිලිතුරු නොදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායවරයාට කථානායකවරයා උපදෙස් දුන්නේය.