බැදුම්කරේට සහය දක්වන්නන්ට විවිධ පාර්ශව සිදු කරන ප්‍රකාශ පදනම් විරහිතයි – යසන්ත කෝදාගොඩ

Yasantha Kodagoda
බැඳුම්කර කොමිසමට සහය දක්වන නීතිපති දෙපාර්තමේන්තු නීතිඥ  කණ්ඩායම සම්බන්ධයෙන් විවිධ පාර්ශව පදනම්  විරහිත ප්‍රකාශ සිදු කරමින් සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පවසයි.
බැදුම්කර කොමිසමේ (11) ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
කොමිසම ලබාදුන් නියෝගයකට අනුව අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනය පසුගියදා කොමිසම බාරයට ගත් අතර එහි දත්ත විමර්ශනය කළ තාක්ෂණික විශේෂඥයින් දුරකථනයේ තිබූ දත්ත ඇතුළත් පිටු 8600ක පී.ඩී.එෆ් ලිපි ගොනුවක් කොමිසමට සහය පළ කරන නීතිපති  දෙපාර්තමේන්තුවේ කණ්ඩායමට ලබාදී තිබුණි.
එම දුරකථන දත්ත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව බැඳුම්කර කොමිසමට කැඳවනු ලැබූ සාක්ෂිකරුවන්ගෙන් කොමිසම ඊට අදාළව ප්‍රශ්න කරනු ලැබීය.
කෙසේවෙතත් අද බැඳුම්කර කොමිසමේදී අතිරේක  සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකථනයේ දත්ත ඇතුළත් පිටු 8600 ක වාර්තාව තමා විසින් පැය 48ක් තුළ විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් අඥානවන්ත පුද්ගලයින් විවිධ ප්‍රකාශ සිදු කරමින් සිටින බවයි.
එහිදී අදාළ ප්‍රකාශ කොමිසම තුළදී නොව ඉන් පිටත සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ඒ සම්බන්ධයෙන්  කොමිසමේ ප්‍රකාශ කිරීම සුදුසු නොවන බව සිතන්නේ යැයි අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා කොමිසමට කියා සිටියේය.
නමුත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ  කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ සිදු කරන නිසා තමන් එම ප්‍රකාශ සම්බන්ධයෙන් කොමිසමේදී අදහස් පළ කළ යුතු බවයි.
ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් දත්ත සම්බන්ධයෙන් විමර්ශන කරමින් කොමිසමට සහය වෙන තාක්ෂණික විශේෂඥයින්  කොමිසමට ලබා දෙන්නේ එම දත්ත පහසුවෙන් සොයා ගත හැකි වන පරිදි  සකස් කරන ලද සංස්කරණය කළ නොහැකි පී.ඩී.එෆ් ලිපි ගොනුවක් හරහා බව යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රකාශ සිදු කිරීම මඟින් අදාළ පුද්ගලයින් සිය ඥානවන්ත භාවයේ ප්‍රමාණය ප්‍රදර්ශනය කරන බවයි.