ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට ගැනීම සම්බන්ධයෙන් නීතිපති ඇතුළු පිරිසට නොතීසි

Bandula-Gunaewardena
ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර තිබේ.
අදාළ ලොතරැයි මණ්ඩල විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි  බවට තීන්දු කරන ලෙස ඉල්ලා ප්‍රකාශ කරන ලෙස පෙත්සම බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම අද(04) කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණූ දැක්විමට කාලය අවශ්‍ය බවයි.
එම නිසා නීතිපතිවරයා ඇතුළු පාර්ශවකරුවන්ට නොතිසි නිකුත් කිරිමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
බන්දුල ගුණවර්ධන මහතා පෙත්සම මඟින් පෙන්වා දී අත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතට පත් කළ යුතු බවයි.
කෙසේවෙතත් අදාළ නීති ප්‍රතිපාදනවලට පටහැනිව එම මණ්ඩල දෙක පසුගියදා සිදු කළ කැබිනට් සංශෝධනයෙන් විදේශ අමාත්‍යාංශය යටතට පත් කර ඇති බව ඔහු පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම ඔක්තෝබර් මස 30 වනදා යළි කැඳවීමට නියම කළේය.