රවී සමාව අයදී

Ravi K

තමන් මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වීමටත් පෙර සිට අර්ජුන ඇලෝසියස් පවුල දන්නා බවත් ඔහුගේ පවු‍ලේ විවාහ මංගල්‍යයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයින් 25 හෝ 30ක් පැමිණ සිටි බවත් හිටපු මුදල් අමාත්‍ය වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඊයේ (02) බැඳුම්කර විමර්ශන විශේෂ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

බැඳුම්කර වංචා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) රැස්වූ අවස්ථාවේ නීතිඥ චානක ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ සඳහන් කළේය.

රවි කරුණානායක මහතා ඊයේ උදේ 9.30ට පමණ කොමිසම හමුවට පැමිණි අතර ප.ව. 3.30 දක්වාම කොමිසම පැය 6ක් ඔහුගේ සාක්ෂිය ලබාගත්තේය. රවි කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, රිෂාඩ් අමීන්, චාමින්ද්‍රි අර්සකුලරත්න, තේජිත කෝරලගේ, නාමල් කරුණාරත්න, ශෂීන් අර්ස කුලරත්න, උදාර මුහුන්දිරම්ගේ තිළිණ පුංචිහේවා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුලි ද ලිවේරා මහතා සාක්ෂි මෙහෙයවූ අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු රජයේ නීතිඥ කණ්ඩායමක් ඔහුට සහය විය.

මෙහිදී කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් රවි කරුණානායක මහතා සඳහන් කළේ මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැන්වුවත් රාජකාරි හේතුවෙන් එසේ පැමිණීමට නොහැකි වීම ගැන සමාව අයැද සිටින බවයි.
මෙහිදී දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේද කීවේය. ජී.ටී.එල්. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මගේ බිරිඳ හා දුව ඉන්නවා. ඔවුන් මිලදී ගත් නිවසක තමයි මම දැන් පදිංචිව ඉන්නේ. ඒ නිවස කොටස් දෙකකින් සමන්විත වර්ග අඩි 4000ක් බව මම පිළිගන්නේ නැහැ. එහි වපසරිය වර්ග අඩි 2000ක් පමණයි.
විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා මේ කොමිසමේ තිබෙන සාක්ෂි අනුව එම නිවස සහිත භූමිය වර්ග අඩි 4000ක් බව හෙළි වී තිබෙනවා.

රවි කරුණානායක මහතා –
ස්වාමීනි  ඒක පිළිගන්න බෑ. මා සිටින නිවස නිදන කාමර 3ක් කෑම කාමරයක් ඇතුළු ‍පොඩි ඉඩක් තිබෙන තැනක්. ඒ ප්‍රමාණය වර්ග අඩි 4000ක් වෙන්න පුළුවන් කමක් නෑ. ඒ ගැන නැවත පරීක්ෂා කරන්න කියලා මම ඉල්ලනවා.

‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුලිද ලිවේරා මහතා –
මේ නිවසට කුලී ගෙවා තිබෙන්නේ අර්ජුන ඇලෝසියස් සතු සමාගමකින් නේද?

රවි කරුණානායක මහතා –
ඒ ගැන මම දන්නේ නෑ. මම දන්නා විදියට මගේ බිරිඳ හා දරුවන් අධ්‍යක්ෂ ධුර දරන ජී.ටී.එල්. සමාගම මෙම නිවසට මුදල් ගෙවූ බවට රිසිට් තිබෙනවා.

රවි කරුණානායක මහතා මෙසේද කීවේය,
මම ජී.ටී.එල්. සමාගමෙන් 2015 ජනවාරි අයින් වුණා. ඉන් පසු බිරිඳ හා දරුවන් තමයි එය පවත්වාගෙන ගියේ. ඔවුන් අපි දැනට පදිංචි නිවස මිලදී ගත්තා කියලා මට කීවා. මම ඒ නිවස මිලදී ගැනීමේ ගනුදෙනු ගැන දන්නේ නැහැ. මගේ බිරිඳගෙන් ඒ ගැන අහන්න ගියෙත් නෑ.

මම මුදල් ඇමැති සමයේ 2015.02.26 දින අපේ අමාත්‍යාංශයේදී මලික් සමරවික්‍රම, කබිර් හෂීම් ඇතුළු පහළොස් දෙනකුගෙන් පමණ කණ්ඩායමක් සමග රැස්වීමක් පැවැත්වූවා. ඒ රැස්වීමේදී ගත් තීරණයක් අනුව එවකට මහා මාර්ග ඉදිකිරීම් සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවන්න කටයුතු කළ යුතු බවට තීරණයක් ගත්තා. ඒ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍ර මහතාට මම යවපු ලිපියේ අත්සන මගේ බව පිළිගන්නවා. එහි දින හා ලිපිගොනු අංකයක් සඳහන් නොවුණත් ඒ ලිපිය රාජකාරි ලිපියක් විදියටයි මහ බැංකු අධිපතිවරයාට යවා තිබෙන්නේ.

මම දිනකට ලිපි 500ක් පමණ අත්සන් කරනවා. උදේ 7.00 සිට රාත්‍රී 11.00 පමණ වනතුරු මම රාජකාරි කටයුතු කරනවා. ඒ නිසා මගේ පෞද්ගලික දේවල් මගේ බිරිඳ හා දරුවන් ඉටුකරනවා. ඒ අනුව තමයි මට අමාත්‍යාංශයට යන්න පහසුකම් තිබෙන තැනකින් නිවසක් ගන්න ඔවුන් උනන්දු වුණේ. මේ නිවස මිලදී ගත්තේ කොහොමද ඒ සඳහා සල්ලි කොහෙන්ද කියලා මම ඇහුවේ නෑ. මම හිතන්නේ බිරිඳ හා දරුවන් අධ්‍යක්ෂ ධුර දරන ජී.ටී.එල්. සමාගමේ මුදල්වලින් මෙම නිවස ගත්තා කියලයි. ඔවුන් ඊට මුදල් ගෙවූ රිසිට් තිබෙනවා.

මෙහිදී රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් දප්පුලි ලිවේරා මහතා දින රහිතව රවි කරුණානායක මහතා මහ බැංකු අධිපතිවරයා වෙත යවා ඇති ලිපිය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම නිසා කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසේන මහතා එකම ප්‍රශ්නය දිගින් දිගට විමසා කාලය නාස්ති නොකරන ලෙස ලිවේරා මහතාට දැන්වීය. අවස්ථා කිහිපයකදීම ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයාද ලිවේරා මහතා එකම ප්‍රශ්න යළි යළි විමසීම නිෂ්ඵල බව පෙන්වා දුන්නේය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසම හමුවේ දීර්ඝ ලෙස එක දිගට පැය 6ක (තේ විවේකය විනාඩි 15ක් හැර) සාක්ෂි දුන් රවි කරුණානායක අමාත්‍යවරයා නැවත කොමිසම හමුවට කැඳවීමක් ගැන ඊයේ (2) දැනම් දුන්නේ නැත.