මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර අවසන් – බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න

petrol

යුද හමුදා මැදිහත්වීමෙන් කොළොන්නාවේ සිට ඉන්ධන බෙදා හැරීම සඳහා  මේ වන විට ඉන්ධන බවුසර් 15 ක් පිටත් කර හැර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

එසේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී  තිබුණි.

ඒ හේතුවෙන් කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබූ  අතර තාවකාලිකව මාර්ගය වසා දැමීමට සිදුවිය.

වැඩවර්ජනයට සම්බන්ධ සේවකයන් පිරිසක් විසින් කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයට, තෙල් ගෙනයාම සඳහා පැමිණි දුම්රියට විරෝධය පළකරමින් දුම්රිය මාර්ගය හරස් කරමින්  ආරම්භ කළ විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබේ.

මේ හේතුවෙන් කැරළි මර්දන ඒකක සහ ජල ප්‍රහාරක රථ හතරක්ද මේ වන විට එම ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අදාළ දුම්රිය ගුවන්තොටුපොළ වෙත තෙල් ගෙනයාම සඳහා පැමිණ ඇතැයිද එම දුම්රිය මේ වන විට පිටත්වීමට සූදානම් බවද සඳහන්ය.