ජපන් ඉන්දීය හවුල්කාරීත්වයෙන් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමේ සැලසුමක්

Sampur

සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් වෙනුවට ජපන්, ඉන්දීය හවුල්කාරීත්වයකින් යුත් ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට තීරණය වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කළේය.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දියානු රජය විසින් සාම්පූර්හී ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීමට මුලදී තීරණය වී තිබුණත් ඉන් වන පරිසර හානිය සලකා ජනාධිපතිවරයා ගල් අගුරු බලාගාරයක් ඉදි නොකිරීමට තීරණය කළ බැවින් මෙලෙස ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

ගල් අගුරු බලාගාරයක් වෙනුවට ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියානු රජය අකමැති බැවින් එය ඉන්දිය ජපන් හවුල්කාරීත්වයක් යටතේ ඉදිකිරීමට සිදු වන බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් සාම්පූර්හී ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීමට කොරියානු සහ ජපන් රජයෙන් යෝජනා ඉදිරිපත් වූ බවත් ඉන් කොරියානු රජය ඉදිරිපත් කළ යෝජනාව වඩා වාසි සහගත එකක් වූ බවත් අමාත්‍යවරයා පැවසීය. නමුත් ජපානය තාක්ෂණික වහයෙන් ඉදිරියෙන් සිටින බැවින් සහ ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා සළකා බලා ජපාන රජය සමග ගිවිසුමට ඇතුළත් වීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.