අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කරයි

GCE oL

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත් නිකුත් කර ඇතැයි ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව විභාගය  සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන් 2,37943කගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත් පෞද්ගලික අයදුම්කරුවන් 77,284 කගේ ප්‍රවේශ පත්‍ර  ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත්  තැපැල් කර ඇත.

මෙවර අ.පො.ස. (උ.පෙ) විභාගය  ලබන අගෝස්තු මස 08 වන දින සිට සැප්තැම්බර් මස 02 දිින දක්වා පැවැත්වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,230 ක් මෙම විභාගය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නියමිත දිනය පුවේශපත් නොලද පෞද්ගලික අයදුම්කරුවන් තමා ඉදිරිපත් කළ ඉල්ලුම්පතේ පිටපතක්, විභාග ගාස්තු ගෙවූ කුවින්තාන්සියේ පිටපතක් හෝ විභාග ගාස්තු ගෙවූ බවට  තැපැල් ස්ථානාධිපතිගෙන් ලබාගත් සහතික කළ ලිපියක් සහ අයදුම්පත්‍රය ලියාපදිංචි තැපෑලට යොමු කළ කුවින්තාන්සිය විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත ඉදිරිපත් කර ප්‍රවේශ පත්‍රය ලබා ගත හැක.

ප්‍රවේශ පත්‍රයන්හි විෂය සංශෝධන , භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදු කිරීමට අවශ්‍යය පාසල් අයදුම්කරුවන් තම විදුහලේ විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් ද 2017.07.20 දිනට පෙර  පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු කිරීමෙන්  අදාල සංශෝධන සිදු කර ගත හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් යම් විමසිමක් වෙතොත් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208/ 0112784537/ 0113140314යන දුරකතන අංක අමතා හෝ ෆැක්ස් අංක 0112784422 මගින් නැතිනම් ක්ෂණික ඇමතුම් අංක 1911 මගින් තොරතුරු විමසිය හැකි බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.