සංහිදියාවට බාධා කරමින් ආගමික අන්තවාදය පතුරුවන ගුවන් විදුලි සහ රූපවාහිනී වැඩසටහන් වාරණයට!

unity-hands

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ වෙනත් පෞද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය මගින් විසුරුවා හරින බෞද්ධ සහ ඉස්ලාම් අන්තවාදී වැඩසටහන් සම්බන්ධයෙන් දිනපතා වාර්තාවක් ලබා දෙන ලෙස මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඇතැම් වැඩසටහන් හරහා ඉස්ලාම් ආගම අදහන දරුවන්ට එමඟින් ආගමික අන්තවාදය සම්බන්ධයෙන් උපදෙස් රැසක් ලබා දෙන අතර ඇතැම් බෞද්ධ වැඩසටහන් අවසානයේ බෞද්ධ දර්ශනයට පූර්ණ හානිකර සහ සංහිදියාවට බාධා වන ප්‍රකාශ නිකුත් කරන බවද බලධාරීන්ගේ අවධානයට ලක් වී ඇත.ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට ද ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී අදාළ සංවේදී කරුණු වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් ද දැනුවත් කෙරෙන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.