ආණ්ඩුවට මහජන සබඳතා ටොක්කක් ආදරෙන්

Post office building in the city of Nuwara Eliya, Sri Lanka.

සටහන :  අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

ආණ්ඩුව නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කරන්න ගිය ව්‍යාපෘතිය අසාර්ථකයි. ඒකෙන් වුනේ ආණ්ඩුව තව ටිකක් මඩ නාගෙන අපහසුතාවයට පත්වුන එක විතරයි. හැබැයි හරි මහජන සබඳතා ක්‍රමෝපායන් පාවිච්චි කරානම් නුවරඑළියෙ තැපැල් කන්තෝරුව හෝටලයක් කිරීම අපහසු දෙයක් නෙවෙයි. විරෝධතා එල්ල වෙන එක මගහැරගෙන ඒක පහසුවෙන්ම කරන්න තිබුණා. ඒකට වැදගත් වෙන්නෙ මහජන මතය හදන්නෙ කොහොමද කියන එක. ජාත්‍යන්තරව කෙසේ වෙතත් මේ ආණ්ඩුවෙ දේශීය මහජන සබඳතා අංශය විභාගෙන් අසමත්වීම නිසා ඒකට ඕනෙ කරන පදනම දාගන්න බැරි වුණා.

නුවරඑළියෙ තැපැල් කන්තෝරුව අධිරාජ්‍යවාදී පාලනය කාලෙ ඉදිකරපු ගොඩනැගිල්ලක්. දැන් ඒක සෑහෙන පරණයි. ඒ ගොඩනැගිල්ලෙ ගෘහ නිර්මාණශිල්පය තවදුරටත් ආණ්ඩුවෙ කන්තෝරුවකට ගැලපෙන්නෙ නැහැ. හැබැයි ඒක හෝටලයකට විශේෂයෙන්ම ගැලපෙනවා.

ආණ්ඩුවට මුලින්ම කරන්න තිබුනෙ ඒ ගොඩනැගිල්ල පරණ, අබලන් සහ නඩත්තුවට අපහසු බවට මතයක් හදන එක. ගොඩනැගිල්ලෙ දිරාපත් තැනක දෙකක පිංතූර ටිකක් එක්ක නිව්ස් ටිකක් යැව්ව නං මිනිස්සු හිතන්න ගන්නවා මේක දැං පරණයි සහ අබලන් ස්ථානයක් නේද කියලා. නුවරඑළිය තැපැල් කාර්යාල සේවක පිරිස අනතුරේවගේ හෙඩිමක් එක්ක නිව්ස් ටික ගියානම් හරියට හරි.

ඊට පස්සෙ අලුත් ගොඩනැගිල්ලක් ඕනෙ කියන අදහස නිකංම එනවා. ඉතිං අලුත් ගොඩනැගිල්ලක් හදල ඒකට තැපැල් කන්තෝරුව ගෙනියනවා. තවත් ටික කාලයක් යද්දි පරණ ගොඩනැගිල්ල තව ටිකක් ජරාවාස වෙනවා. අන්න එතකොට මතයක් හැදෙනවා මේ ගොඩනැගිල්ල රැකගන්න ඕනෙ සහ ඒක රැක ගැනීම ජාතික අවශ්‍යතාවයක් කියලා. අන්න ඒ මොහොතෙදි ඒක සංචාරක හෝටලයක් කරල හරි රැකගත්තට කමක් නෑ කියන එකයි බහුතර මතය වෙන්නෙ.

එතකොට විරුද්ධ දේශපාලන මතවාදීන්ටත් මේක මාතෘකාවක් කරගන්න කාලයක් නෑ. ඒක ඒ තරමටම අමතක වෙලා ගිය දෙයක් සහ තව දුරටත් එතන තැපැල් කන්තෝරුවක් නැති නිසා.

හෝටලයක් කරන්න මේ ගොඩනැගිල්ලේ පුරාවිද්‍යාත්මක වටිනාකම රැකගනිමින් අලුත්වැඩියා කරන බව මිනිස්සු අතරට ගෙනියන්න ඕනෙ. එතකොට ඒකෙන් රටට එන ආදායම සහ රැකියා උත්පාදනය කියන අනුමාතෘකා මතුවෙනවා.ආණ්ඩුව කරේ මේ ක්‍රියාවලියෙ අවසන් පියවර මුලින් තබපු එක. ඉතිං ප්‍රොජෙක්ට් එක ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද?

මහජන සබඳතාවය නැතිනම් (PR) එක කියන්නෙ තනිපුද්ගලයින්ට,කොම්පැණිවලට වගේම ආණ්ඩුවලටත් අත්‍යවශ්‍ය දෙයක්. අනිකා අපි ගැන විශ්වාසය තබන්න අපේ මහජන සබඳතා පැවැත්වීමේ ක්‍රමෝපාය හරිම වැදගත් වෙනවා.

ජාත්‍යන්තර මහජන සබඳතාවය පවත්වන් යන විදියට දේශීය මහජන සබඳතාවය පවත්වන් යන්න බැහැ කියන එක මුලින්ම අවබෝධ කරගන්න ඕනෙ. අපේ දේ විනාශ කරනවා විකුණනවා කියන එක වෙනුවට අපේ දේ රැකගන්නවා, රටට විදේශ විනිමය වැඩියෙං ගේනවා කියන මතය මෙතෙන්දි හරිම පහසුවෙන් හදන්න තිබුණා.

හෝටලේට අමතරව මේකෙ පැත්තකින් පොඩියට තැපැල් කෞතුකාගරයක් හදන්න තිබුණ නම් ව්‍යාපෘතිය තවත් සාර්ථක වෙනවා. ඒකෙන් හෝටලේ අගය තවත් වැඩිවෙනවා. තැපෑල පරණ වෙන්න, පරණ වෙන්න පෞරාණික වටිනාකම වැඩිවෙනවා. හෝටලයක ගොඩනැගිල්ලක් පරණ වෙන්න පරණ වෙන්න සංචාරක ආකර්ෂණය ඉහළ යනවා.

ආණ්ඩුව මහජන මතය හදන්න හරි විදියට මහජන සබඳතා භාවිතා නොකරපු නිසා තැපැල් කන්තෝරුව තවමත් එතැනමයි. දැං ඉතිං තව කාලයක් යනකන් එතන මුද්දර උඩ සීල් ගහන ‘දඩාං’සද්දෙ නුවරඑළි සීතල කපාගෙන කණට වදියි.

සටහන :  අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි

                        srijayachandra@hotmail.com