හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කරයි – එම්.අයි 17 හදිසි දෝසයකට ලක් වුණත් තවත් යානා ගණනක් සහන සේවා සදහා සූදානමින්

Floods 6

එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානාවක් හදිසි කාර්මික දේෂයකට පත්වුවත් තවත් යානා ගණනාවක් සහන කටයුතු සඳහා ක්‍රියාත්මක බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි.

එම්.අයි 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා 4ක්, බෙල් 212 වර්ගයේ යානා 3ක්, බෙල් 400 වර්ගයේ යානාවක් ඇතුළු යානා කිහිපයක් මේ මොහොතේත් ක්‍රියාත්මක බව ඔහු කියා සිටියේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

කාර්මික දෝෂයට ලක්වූ යානය කඩා වැටීමක් සිදුනොවුණු බවත්, එය කාර්මික දෝෂයකට ලක්වීමෙන් පසු හදිසියේම ගොඩබැස්වීමට නියමුවාට සිදුව ඇති බවත්, ප්‍රදේශයම ජලයෙන් යටවීම නිසා නිසි තැනක් සොයාගැනීමේ අපහසුවෙන් හදිසියේම යානය වතුර මතටම ගොඩබැස්වීමට සිදුව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යානය අනතුරට පත්වනවිට ඒ තුළ ගුවන් හමුදා සාමාජිකයින් 10 දෙනෙකු සිටි බවත්, ඔවුන් කිසිවෙකුටත් හානියක් නොවන පරිදි යානාව ගොඩබැස්වීමට කටයුතු කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

බිමින් හෝ බෝට්ටු මගින් යා නොහැකි අයගම ප්‍රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා ගුවන් හමුදාව විශේෂ අවධානයක් යොමුව ඇති බවත්, අද දිනයේ “ගෞතම දේශ“ පිට්ටනියේ ගුවන් හමුදාව මගින් වෛද්‍ය සායනයක් පවත්වන බවත්, බොහෝ පිරිසක් ඊට එකතුවී ඇති බවත් සෙනෙවිරත්න මහතා සිහිපත් කළේය.

මේ අතර දැඩි අසීරු තත්ත්වයේ පසුවූ හෘද රෝගියෙකු හා ගර්භනී මාතාවක් ගුවන් මගින් රෝහලට ගෙනගිය   කලවාන-රත්නපුර අතරතුරදී අදාළ හෙළිකොප්ටර් යානාව තුළදීම ගර්භනී මාතාව දරුවෙකු ප්‍රසූත කළ බවත්, ඒ තිදෙනාගේම ජීවිත ගලවාගැනීමට හැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිසින ලද ආහාර පාර්සල් 10,000ක්, වතුර බෝතල් 3000ක් හා වියළි ආහාර විශාල තොගයක් මේවන විට පීඩාවට පත් ජනයාට බෙදාහැරීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.