මාතර රෝහලේ වාට්ටු දෙකක් ජලයෙන් යට වෙයි

floods 4

මාතර නිල්වලා ගඟේ ජලමට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට මාතර නගරාසන්නේ ඇති ගබඩා වීදිය, තුඩාව, වෙලන්වත්ත, වේරදූව, මැදවත්ත ආදි ප්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර ඇතැම් ස්ථානවල අඩි 8 කට වඩා වතුර පිරී තිබෙන බවද වාර්තා වේ.  

දින තුනක් තිස්සේ විදුලිය ඇනහිටීමෙන් දුරකතන පවා විසන්ධී වී ඇත. එමෙන්ම මාතර රෝහලේ වාට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා එහි රෝගීන් ඉවත් කෙරෙමින් පවතී.

ප්‍රදේශයේ ජලය සහ විදුලිය නැති අතර පානීය ජලය බරපතළම අවශ්‍යතාව වී තිබේ.

රට පුරා බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුරට සහ නායයාම්වලට හසුවීමෙන් සිය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කරයි.

තවත් 99 දෙනෙකු පිළිබඳව ආගිය තොරතුරක් මෙතෙක් දැනගන්නට ලැබී නැති හෙයින් ඔවුන් අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.