පුංචි හදවත් මරුවාගෙන් බේරගන්න Little Hearts පෙරට එයි

DSC_1357

සටහන – පාලිත අබේලාල්palithaabelal@gmail.com

Little Hearts (පුංචි හදවත්) කියන්නෙ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග ඒකකය සඳහා අංග සම්පූර්ණ දැඩිසත්කාර ඒකක සංකීර්ණයක් සහිතව මහල් දහයකින් යුතු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීම සඳහා දියත් කළ දැවැන්ත ව්‍යාපෘතියක්.  ඒ සද් කාර්යය සඳහා මුල් ගල් තැබීම පසුගියදා සිදුවුණා. රටක් වටින මේ ආරංචිය ගැන තවත් ටිකක් විපරම් කරමින් ගිය බොස්ටන් ලංකා අපි නතර වුණේ ළමා හෘදරෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා ඉදිරිපිට.

මෙවැනි දැඩිසත්කාර ඒකක සංකීර්ණයක් අවශ්‍ය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 3000ක් පමණ දෙනා හෘදාශ්‍රිත රෝග වලට ගොදුරුවෙනව. ඒ අතරින් 2500 දෙනෙකුට විතර ප්‍රතිකර්ම අවශ්‍ය වෙනවා. නමුත් දැනට අප හෘද රෝග ඒකකයේ පවතින් පහසුකම් අනූව කළ හැකිව ඇත්තේ වසරකට විවෘත්ත හදවත් සැත්කම් 1000ක් සහ කැතීටර්කරණ මගින් කරන ප්‍රතිකර්ම 700ක් පමණයි. එකම දරුවෙකුට සැත්කම් කිහිපයක් කිරීමට අවශ්‍ය වීමත්, ඇතැම් සැත්කම් සඳහා දීර්ඝ කාල වේලාවක් ගතවීමත් යන කරුණු නිසා වසරකට අවම වශයෙන් විවෘත්ත හදවත් සැත්කම් 2000ක් සහ කැතීටර් මගින් කරන ප්‍රතිකර්ම 1000ක් අප විසින් කළ යුතුයි. මෙම නව ශල්‍ය හා දැඩිසත්කාර සංකීර්ණය මගින් එම ඉලක්කයට ළඟා විය හැකියි.

දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ ප්‍රතිකාරයන් සිදුකරන්නේ කොහොමද?

මෙම මට්මමේ රෝහලක, මුළු ඇඳන් ගණනට සාපේක්ෂව අවම වශයෙන් 10-30% අතර ප්‍රමාණයකවත් ඇඳන් ප්‍රමාණයක් දැඩිසත්කාර ඒකකයේ තිබිය යුතුයි. නමුතු අප ළමා රෝහලේ මුළු ඇඳන් ප්‍රමාණය 900ට වැඩි ගණනක් වුණත් දැඩිසත්කාර එක්කයේ තිබෙන්නේ ඉන් 1-2% ඇඳන් ප්‍රමාණයක් පමණි. මෙම ඇඳන් ගණන කොහෙත්ම ප්‍රමාණවත් නොවෙන නිසා දැඩිසත්කාර ප්‍රතිකාර අවශ්‍ය  රෝගී දරුවන්ගෙන් 60%ක් ම එම ඒකකයෙන් හරවා යැවීමට සිදු වෙනවා. ඒ හේතුව නිසා ම ජීවිත අවධානමක් ඇති අසාධ්‍ය තත්වයේ පසුවන දරුවන්ව පවා සාමාන්‍ය වාට්ටුවල තබා ප්‍රතිකාර කිරීමට සිදුවී තිබෙනවා.අපගේ ගණන් බැලීමට අනුව නම්,ළමයින් 1000 – 1500 අතර පිරිසක්, ප්‍රතිකාර ලැබීමේ පහසුකම් නොමැති නිසාම, හෘද රෝග සහ වෙනත් අසාධ්‍ය රෝග තත්ත්ව හේතුවෙන් මිය යනවා.අලුතින් දැඩිසත්කාර සංකීර්ණයක් ගොඩනැගීමෙන් මෙවන් හේතු නිසා මිය යන බොහෝ ළමුන් බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) කල ගණන් බැලීමට අනුව රුපියල් මිලියන දෙදහසක පමණ මුදලක් මේ කාර්යය සදහා වැයවෙනවා.

අරමුදල් රැස්කිරීමේ සැලසුම මොනවාද?

ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වන්නේ, විශාල සංඛ්‍යාවක් ලාංකිකයින්ගෙන් කුඩා මුදල් ප්‍රමාණ එකතු කරගැනීම. නමුත්, විශාල පරිත්‍යාගත් සතුටින් භාරගන්නවා. ඒ සඳහා ලංකා බැංකුවේ බොරැල්ල ශාඛාවේ79738633 යටතේ ගිණුමක් ආරම්භ කරලා තියෙනවා. මීට අමතරව අපගේ වෙබ් අඩවිය වනwww.littlehearts.lkමඟින්ද මේ ව්‍යාපෘතියට ඔබට හැකි ආකාරයෙන් මුදල් තැන්පත් කිරීමෙන් මේ උත්තරීතර කාර්යය සමඟ සම්බන්ධ වීමේ හැකියාව ලැබී තියෙනවා.අප යෝජනා කරනවා ජාතික වගකීමක් ඇති කර්තව්‍යයක් හැටියට ‘Little Hearts – බිළිඳු හදවත්’ ව්‍යාපෘතිය සියලු සමාගම් විසින් තම ආයතනික සමාජ වගකීමට අනුකුල ව්‍යාපාරය ලෙස 2017දී තෝරාගෙන මෙම ජීවිත බේරාගැනීමට කටයුතු කරන්න කියලා.

අරමුදල් රැස්කිරීමේ පටන් ගොඩනැගිල්ල ඉදිවනතුරු පටිපාටිය මොන වගේද?

ලංකාවේ ළමා සෞඛ්‍යය පිළිබඳ ප්‍රධාන ආයතනය ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය. මෙහි සාමාජිකයන් ළමා රෝග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෙන නිසාSLCP ප්‍රමඛත්වය ගෙන මෙම අරමුදල් රැස්කිරීම සිදුකරන අතර,තවත් ආයතන කිහිපයක් සහ පුද්ගලයින් කිහිප දෙනෙක් ඔවුන් හා අත්වැල් බැඳගෙන මෙම කර්තව්‍යයේ නියැලෙනව. මෙහි ගණකාධිකරණ කටයුතු සිදුකරන්නේ ලොව ප්‍රචලිත KPMGසමාගමයි. මෙහි රැස්වන සියලු මුදල් යොමු කරන්නෙජාතික සෞඛ්‍ය වර්ධන අරමුදලට (NHDF). ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් NHDF විසින් සලසා දෙන අතර, එහි සැලසුම්, නිර්මාණය, වියදම් ගණනය, යනාදී සියලු වගකීම් CECB සතු වෙනව. මෙම පුර්ණ ක්‍රියාදාමයම SLCP අධීක්ෂණය යටතේ, පූර්ණ විනිවිදභාවයකින් සිදු වෙන්නෙ.

මෙම කාර්යයට මෙතෙක් ලැබුණු සහය ගැන තෘප්තිමත්ද?

100% ම ඔව්. අප සිතුවාට වඩා දහස් ගුණයකින් අපට බොහෝ දෙනෙකුගෙන් සහයෝගය ලැබුන.මාධ්‍ය මගින් ලැබුණු සහය සිහිපත් කලයුතුමයි. ඒ නිසා මහජනතාව දැනුවත් කරලීමට වගේම ඒ අයගේ සහය ලබාගැනීමටත් හැකිවුනා. මේ ගැන අපිත් එක්ක කතාකළ සියල්ලන්ම, ස්වේච්ඡාවෙන් ඔවුන්ගේ සහය ලබාදුන්නා. අපේ කැට පෙරහැර මේකට හොඳ උදාහරණයක්. අප ඒක සැලසුම් කළේ උදේ 8 සිට සවස 4වනතුරු පවත්වන්න. නමුත් දූ දරුවන් හා වැඩිහිටියන් බෙහෝ දෙනෙක් උදේ 7 සිට සවස 6 වනතුරු  නොනවත්වාම අපට කැට ගෙනාවා. මේක ආරම්භය පමණයි. අපේ අත්දැකීමුත් එක් කරගෙන අපට නොකඩවා මේ දේ කරගෙන යන්න පුළුවන් වුණොත්, අපට මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න පුළුවන් වෙයි.

ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය කොහොමද?

අතිගරු ජනාධිපති තුමා විසින් මෙහි මූලික වැ කටයුතු සඳාහා රු. මිලියන 300 ක මුදලක් අපිට ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිකිරීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙනව. අප්‍රේමාසය ආරම්භ වනවිට අපට සියළුම දෙනාගේ සහභාගීත්වයෙන් පළමු මිලියන 100 සම්පූර්ණ කිරීමට හැකිවුනා. මේ ශක්තියත් එක්ක අපි මේ මාසේ මුල් සතියේම මුල් ගල් තබමින් ඉදිකිරීම් කටයුතු ආරම්භකලා.

මේ ව්‍යාපෘතියට මම දායක විය යුත්තේ ඇයි?

ඔබගේ දරුවකු රෝගාතුර වූවොත්, එම දරුවාට දැඩි සත්කාර ඒකකයේ ඇඳක් ලැබීමේ ප්‍රතිශතය 30%ක් පමණයි. එම දරුවාට හදවතේ සිදුරක් යැයි රෝග නිශ්චය වූවොත් නිසි වෙලාව තුළ දී ශල්‍යකර්මය සිදුවීමේ ප්‍රතිශතය 50%. ළමයාට නිසි කළ ප්‍රතිකාර නොලැබීමේ හෝ ජීවිත අවදානමක් ඇතිවීමේ 50-70% අතර සම්භාවිතාවක් තියෙනවා. ඒ ඔබේ දරුවා පමණක් නොවෙයි, ඥාති දරුවෙක්, සේවකයකුගේ දරුවෙක්, මේ කවරෙක් වුව ද විය හැකියි. ඒ එම දරුවාගේ ජීවිතය බේරාගැනීම අපේ වගකීමක්.

මෙතන ප්‍රශ්නය ඉතාම සරලයි. අනාගත දරුපරපුර වෙනුවෙන් මේ ව්‍යාපෘතිය සාර්ථක විය යුතුද? ඔව් නම්,ඔබත් දායක වන්න.

සියළුම විමසීම් සඳහා

දුරකථන – +94112683178/ +94115300700

ජංගම – +94716441122

ෆැක්ස් – +94112684625

ඊ මේල් – info@littleheart.lk